selling-passenger-transport-permits-is-allowed

දශක තුනකට අධික කාලයක් තිස්සේ පෞද්ගලික බස් රථ ක්ෂේත්‍රය මුහුණ දුන් ප්‍රධාන ගැටලුවකට විසඳුම් ලබා දෙමින්, මගී ප්‍රවාහන සේවා බලපත්‍ර නීත්‍යනුකූලව අලෙවි කිරීමට සහ පැවරීමට බස් රථ හිමියන්ට අවස්ථාව සලසා දෙන නව ගැසට් නිවේදනය ඊයේ (6) සිට බලාත්මක කර තිබේ. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා බත්තරමුල්ල කොස්වත්ත පිහිටි අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළ අතර, මින් ඉදිරියට කිසිදු ආකාරයකින් අයථා ලෙස නව මගී ප්‍රවාහන බලපත්‍ර නිකුත් නොකරන බවද හෙතෙම අවධාරණය කළේය.

ගුණාත්මක සහ විධිමත් බස් රථ සේවාවක් රට තුළ ස්ථාපිත කිරීම අමාත්‍යාංශයේ මූලික අරමුණ වී ඇත.




1991 අංක 38 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ පවතින සීමාවන් හේතුවෙන් මීට පෙර මගී සේවා අවසර පත්‍ර පැවරීමක් සිදුකළ නොහැකි වූ අතර, එවැනි පවරා දීමක් සිදු කළ ද එය නීතිය ඉදිරියේ ශුන්‍ය හා බලරහිත වූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. බස් කර්මාන්තයේ නියැලෙන්නන් ප්‍රායෝගිකව මුහුණ දුන් මෙම දුෂ්කරතාව හඳුනාගත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව එක්ව, ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම නෛතික පැවරීමේ ක්‍රියාවලිය හඳුන්වා දී තිබේ. මේ හරහා බස් රථ හිමියන්ට තම බලපත්‍රය වෙනත් පාර්ශවයක් වෙත නීත්‍යනුකූලව පැවරීමේ පූර්ණ අයිතිය හිමිවේ.

මෙම නව නීතිමය රාමුව යටතේ බලපත්‍රයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන පැවරුම්ලාභියා විසින් පසුගිය මාස හයක කාලය තුළ රුපියල් මිලියන දෙකක උපරිමයකට යටත්ව මූල්‍ය ශක්‍යතාව පවත්වාගෙන ගොස් තිබීම අනිවාර්ය වේ. එමෙන්ම බලපත්‍රය පවරනු ලබන බස් රථ හිමියා ඊට අදාළ මූලික ලේඛන ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කළ යුතු බවද දැනුම් දී තිබේ. විශේෂයෙන්ම මීට පෙර යම් බලපත්‍රයක් ඇටෝනි බලපත්‍රයක් හරහා පවරා තිබුණේ නම්, මෙම නව පැවරීම සිදු කිරීමට පෙර එම පැරණි ගනුදෙනු සම්පූර්ණයෙන් අවසන් කර තිබීම අත්‍යවශ්‍ය කොන්දේසියකි. අනීතික ලෙස සිදුවූ පැවරීම් හේතුවෙන් පසුගිය කාලසීමාවේදී බස් හිමියන් විශාල ගැටලු රැසකට මුහුණ දුන් බවද අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය.




නව ක්‍රමවේදය හඳුන්වා දීමත් සමඟ දැනට සේවාවේ නිරත බස් හිමියන්ට පමණක් නොව, නව ව්‍යවසායකයන් ලෙස ක්ෂේත්‍රයට පිවිසීමට අපේක්ෂා කරන තරුණ ප්‍රජාවට ද විශාල දිරිගැන්වීමක් ලැබෙනු ඇත. විශේෂයෙන්ම උතුරු පළාතේ බස් හිමියන් දීර්ඝ කාලයක් තිස්සේ මුහුණ දුන් බලපත්‍ර ගැටලුවලට මෙම ක්‍රියාවලිය හරහා ස්ථිර විසඳුම් ලැබෙනු ඇති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම විශේෂ මාධ්‍ය හමුව සඳහා ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල මහතා සහ අමාත්‍යාංශයේ නීති නිලධාරී ප්‍රියන්ති ගුණසේකර මහත්මිය ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.