පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි කිරීමත් සමඟ වාර්ෂිකව රුපියල් කෝටි විස්සකට ආසන්න මුදලක් ඉතිරි වනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි. මෙම ඉතිරි වන අරමුදල් අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුළු සමාජ සුබසාධන කටයුතු වෙනුවෙන් යෙදවීමට රජය අපේක්ෂා කරන බව රජයේ ප්‍රකාශකයෙක් තහවුරු කළේය.
මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත පසුගිය අප්‍රේල් 17 වනදා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 152කින් සම්මත විය. එම පනත් කෙටුම්පත සම්මත වීමත් සමඟ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 519 දෙනෙකුගේ විශ්‍රාම වැටුප් අහෝසි කෙරුණි. ඒ අනුව, ඔවුන්ගේ නම් වැටුප් ලේඛනවලින් ඉවත් කිරීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් දැනටමත් පියවර ගෙන ඇත.
මෙම විශ්‍රාම වැටුප් අහිමි වූවන් අතරට හිටපු මන්ත්‍රීවරුන්ගේ කලත්‍රයන් (භාර්යාවන් හෝ ස්වාමිපුරුෂයන්) 160 දෙනෙකු පමණද, ඔවුන්ගේ දූ දරුවන් 07 දෙනෙකුද ඇතුළත් වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම, ජාතික ජන බලවේගය (NPP) විසින් පසුගිය ජනාධිපතිවරණ හා මහ මැතිවරණ සමයන්හිදී ජනතාවට ලබා දුන් එක් ප්‍රධාන පොරොන්දුවක් ඉටු කිරීමක් ලෙස සැලකේ. මීට අමතරව, හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දුන් නිල නිවාස, වාහන ඇතුළු තවත් වරප්‍රසාද රැසක්ද රජය විසින් මීට පෙර අහෝසි කර තිබේ.