the-person-taking-money-using-the-name-of-kehelbaddara-was-arrested

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වන, මේ වන විට පොලිස් භාරයේ පසුවන "කෙහෙල්බද්දර පද්මේ" නමැත්තා සමඟ සම්බන්ධතා පවත්වන බවට පවසමින්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු ලෙස පෙනී සිටිමින් පුද්ගලයන් බියගන්වා මුදල් ලබාගත් බව කියන සැකකරුවකු ඊයේ (18) බොරැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.




මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වන, මේ වන විට පොලිස් භාරයේ පසුවන "කෙහෙල්බද්දර පද්මේ" නමැත්තා සමඟ සම්බන්ධතා පවත්වන බවට පවසමින්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු ලෙස පෙනී සිටිමින් පුද්ගලයන් බියගන්වා මුදල් ලබාගත් බව කියන සැකකරුවකු ඊයේ (18) බොරැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසිනි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලාන, අඟුලාන ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි. පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මොහු දිනකට රුපියල් ලක්ෂ එකහමාරක පමණ මුදලක් සිය ගිණුමකට බැර කර ගන්නා අතර, දිනකට රුපියල් 75,000ක පමණ වටිනා හෙරොයින් පානය කරන බවය.




සැකකරුට මනා කථිකත්වයක් ඇති අතර, සිරගතව සිටි කාලය තුළදී පවා විවිධ පුද්ගලයන් බියගන්වා ගිණුම්වලට මුදල් බැරකර ගෙන ඇති බවද විමර්ශනවලදී හෙළිදරව් වී ඇත. ඔහුට එරෙහිව කොල්ලකෑම් සම්බන්ධයෙන් නඩු 15ක් පමණ පවතින බව පොලිසිය සඳහන් කරයි. වයස අවුරුදු 20ක් පමණ වන විට පළමු වරට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, ඔහු වසර 17ක් පමණ බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිට ඇති අතර, නිදහස ලබා ඇත්තේ දින කිහිපයකට පෙරය.

කෙසේවෙතත්, බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයට යැවීමට පෙර, සැකකරු රඳවා සිටි වෙනත් බන්ධනාගාර දෙකකින් පැන ගොස් ඇති බවද විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත. නැවත අත්අඩංගුවට ගැනීමෙන් පසුවයි ඔහු බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයට යොමු කර ඇත්තේ.



මොහු විසින් බියගන්වා ලබාගත් මුදල් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ ගිණුමකට බැර කර ඇති බවත්, එම පුද්ගලයා සැකකරුට බන්ධනාගාරයේදී හමුවී ඇති බවත් පොලිසිය පවසයි. එම මුදල් "ඊසි කෑෂ්" ක්‍රමය ඔස්සේ සැකකරුට ලැබී ඇති බවද පොලිසිය වැඩිදුරටත් කියා සිටී.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී, සැකකරු සන්තකයේ තිබී ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයක්, දුරකථන සිම්පත් තුනක් සහ හෙරොයින් ග්‍රෑම් 3ක් පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.