father-and-son-arrested-for-selling-the-same-vehicle-to-two-people

එකම ලියාපදිංචි අංකය දරන ටිපර් රථ දෙකක් එක් ලියාපදිංචි සහතිකයක් (පොතක්) භාවිත කරමින් පුද්ගලයන් දෙදෙනෙකුට අලෙවි කළ බව කියන වාහන වෙළෙඳාමේ නිරත පියකු සහ පුතකු හොරණ විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් පෙරේදා (17) අත්අඩංගුවට ගෙන තිබේ. කිරිඇල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මෙම සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 68 සහ 48 යන වියෙහි පසුවන්නන් බව පොලිසිය සඳහන් කරයි.




මෙම වංචාව පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත්තේ අලුත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුවය. මූලික විමර්ශනවලදී හෙළි වී ඇති පරිදි, සැකකාර පුත්‍රයා විසින් හොරණ පෝරුවදණ්ඩ ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් ටිපර් රථයක් ලීසිං වාරික ගෙවා නිම කිරීමේ පදනම මත සිය පියාගේ නමට නීතිඥවරයෙකු මාර්ගයෙන් ගිවිසුම්ගතව මිලදී ගෙන තිබේ. ඉන් අනතුරුව, ඔවුන් විසින් අදාළ ටිපර් රථය ඉදිරි ලීසිං වාරික ගෙවීමේ කොන්දේසිය මත පැමිණිල්ල සිදු කළ අලුත්ගම පදිංචිකරුවාට අලෙවි කර ඇත.

අදාළ ගැණුම්කරු විසින් සියලුම ලීසිං වාරික ගෙවා අවසන් කිරීමෙන් පසුව වාහනයේ ලියාපදිංචි සහතිකය සැකකරුවන්ගෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී, එය ගංවතුරකට හසුවීමෙන් විනාශ වී ගොස් ඇති බව පවසා ඔවුන් ඔහුව මඟහැර තිබේ. මේ සම්බන්ධයෙන් ඇති වූ සැකය මත අදාළ පුද්ගලයා හොරණ විශේෂ අපරාධ විමර්ශන ඒකකය වෙත පැමිණිලි කර ඇති අතර, එහිදී ක්‍රියාත්මක වූ නිලධාරීන් විසින් සිදු කළ සොයාබැලීම්වලදී මෙම වාහනයේ ලියාපදිංචි අංකයම භාවිත කරන තවත් ටිපර් රථයක් දංකොටුව ප්‍රදේශයේ ඇති බවට තහවුරු කරගෙන ඇත.




දංකොටුව ප්‍රදේශයේ ඇති ටිපර් රථයේ හිමිකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී, ඔහු ද අදාළ රථය මෙම පිය පුතු දෙපළගෙන්ම මිලදී ගෙන ඇති බව හෙළි වී තිබේ. තවද, අලුත්ගම පුද්ගලයාට ලබා නොදුන් වාහනයේ මුල් ලියාපදිංචි සහතිකය දංකොටුව ප්‍රදේශයේ ගැණුම්කරු සතුව තිබී පොලිසිය විසින් සොයාගෙන ඇත. මේ වන විට අදාළ ටිපර් රථ දෙකම පොලිස් භාරයට ගැනීමට නියමිතව ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකාර පිය පුතු දෙපළ හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබේ.