වකුගඩු රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගිය විශ්‍රාමික සෞඛ්‍ය කාර්ය සහායකයෙකුගේ දේහය භාරගැනීම සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු අතර ඇතිවූ අර්බුදකාරී තත්ත්වයක් නිරාකරණය කිරීමට හෝමාගම හදිසි මරණ පරීක්ෂකවරයාට සිදුව තිබේ. හෝමාගම මූලික රෝහලේදී සිදුවූ මෙම මරණයෙන් පසුව දේහය භාරගැනීම සඳහා කාන්තාවන් දෙදෙනෙකු ඉදිරිපත් වීමත් සමඟ ඇතිවූ උණුසුම් වචන හුවමාරුව අවසානයේ නීතිමය කරුණු සලකා බැලූ මරණ පරීක්ෂකවරයා, මියගිය පුද්ගලයාගේ දේහය ඔහුගේ පළමු විවාහක බිරිඳට භාර දීමට නියෝග කර ඇත.
මීගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි වියේ පසුවූ මෙම පුද්ගලයා වෘත්තියෙන් සෞඛ්‍ය කාර්ය සහායකයෙකු ලෙස සේවය කර විශ්‍රාම ලබා සිටි අයෙකි. මොහු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇත්තේ නිවසේ සිටියදී හටගත් හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් වන අතර, නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 30 වැනිදා ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියගිය පුද්ගලයා මීට වසර තිහකට පමණ ඉහතදී කළුතර ප්‍රදේශයේ කාන්තාවක හා විවාහ වී ඇති අතර එම විවාහයෙන් ඔහුට දරුවන් දෙදෙනෙකු ද සිටී. කෙසේ වෙතත්, පසුකාලීනව එම බිරිඳ සහ දරුවන් අතහැර දමා පැමිණ ඇති මොහු, මීට වසර විස්සකට පමණ පෙර වෙනත් කාන්තාවක් සමඟ විවාහ වී මීගොඩ ප්‍රදේශයේ පදිංචිව සිට ඇත. දෙවනුව විවාහ කරගත් කාන්තාවට ඇයගේ පෙර විවාහයේ දරුවන් තිදෙනෙකු සිටියද, මෙම පුද්ගලයාට දාව ඇයට දරුවන් නොමැති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මරණයෙන් පසුව හදිසි මරණ පරීක්ෂණය පැවැත්වීමට සූදානම් වූ අවස්ථාවේදී මෙම ගැටලුව පැන නැගී ඇත. මියගිය බව සැලවීමත් සමඟ රෝහලට පැමිණි පළමු බිරිඳ තමා සතුව තිබූ විවාහ සහතිකය ඉදිරිපත් කරමින් දේහය ඉල්ලා සිටි අතර, මියගිය අය සමඟ වසර විස්සකට අධික කාලයක් එකට ජීවත් වූ දෙවන කාන්තාවද තමා සතු විවාහ සහතිකය ඉදිරිපත් කරමින් දේහය සහ මරණ පරීක්ෂණ වාර්තාව භාර දෙන ලෙස ඉල්ලා සිටීමත් සමඟ දෙපාර්ශවය අතර මෙම උණුසුම් තත්ත්වය හටගෙන තිබේ.
මෙම ගැටලුව විසඳීම සඳහා මැදිහත් වූ හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදය කුමාර මහතා කාන්තාවන් දෙදෙනාටම කරුණු පැහැදිලි කර දී ඇත. එහිදී ඔහු පෙන්වා දී ඇත්තේ පළමු විවාහයෙන් නීත්‍යානුකූලව දික්කසාද නොවී සිදුකර ගන්නා ලද දෙවන විවාහයක් නීතිය ඉදිරියේ වලංගු නොවන බවයි. ඒ අනුව, මියගිය පුද්ගලයා දෙවන කාන්තාව සමඟ කොපමණ කාලයක් විවාහ වී වාසය කළද, නීත්‍යානුකූල අයිතිය හිමිවන්නේ පළමු බිරිඳට බව තීරණය කෙරිණි.
හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී දමිත් අත්තනායක මහතා විසින් පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී සහ ඉදිරිපත් වූ සාක්ෂිවලට අනුව, දීර්ඝ කාලයක් පුරා පැවති වකුගඩු අකර්මණ්‍ය වීමෙන් හටගත් සංකූලතා මරණයට හේතුව බවට නිගමනය කර ඇත. මේ අතර, මියගිය අයගේ විශ්‍රාම වැටුප දෙවන බිරිඳ නමට හරවාගෙන ඇති බවද මෙහිදී හෙළි වී තිබේ. අවසානයේ මරණ පරීක්ෂකවරයාගේ නියෝගය පරිදි මීගොඩ පොලිසියේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් දේහය සහ මරණ පරීක්ෂණ වාර්තාව පළමු බිරිඳ වෙත භාර දීමට කටයුතු කර ඇත.