මාවනැල්ල උතුවන්කන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු කෑගල්ල මීපිටිය ප්‍රදේශයේදී බස් රථයක ගැටී සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. කෑගල්ල මූලස්ථාන පොලීසියට අනුයුක්තව රාජකාරි කළ ළහිරු හර්ෂණ ජයලත් (93825) නැමැති මෙම නිලධාරියා පසුගිය 31 වැනිදා අලුයම සිය නිවසේ සිට රාජකාරි සඳහා වාර්තා කිරීමට යතුරුපැදියෙන් පැමිණෙමින් සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පා ඇත.
පොලිස් ස්ථානයට මීටර් 300ක් පමණ ආසන්නව තිබියදී මීපිටිය ප්‍රදේශයේදී කොළඹ සිට මහනුවර දෙසට ධාවනය වූ මට්ටක්කුලිය ඩිපෝවට අයත් බස් රථයක යතුරුපැදිය ගැටී ඇති අතර, එහිදී හිස්වැසුම ගැලවී ගොස් හිස පොළොවේ වැදීමෙන් ඔහු එම ස්ථානයේදීම මියගොස් තිබේ.මෙම මරණය සම්බන්ධයෙන් කෑගල්ල මහ රෝහලේදී පැවති හදිසි මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබාදෙමින් මියගිය කොස්තාපල්වරයාගේ පියා වන 58 හැවිරිදි හල්මිල්ලගහවත්තේ ගෙදර පත්මසිරි ජයලත් මහතා ප්‍රකාශ කළේ, එදින උදෑසන පුතා තමාට අයත් යතුරුපැදියෙන් රාජකාරියට ගිය බවත්, පසුව තමන් වඩු කර්මාන්තයේ වැඩට ගොස් සිටියදී ඥාතියෙකු මාර්ගයෙන් මෙම අනතුර පිළිබඳව දැනගැනීමට ලැබුණු බවත්ය. රෝහලට පැමිණ දේහය හඳුනාගත් බවත්, මෙය රිය අනතුරකින් සිදුවූ මරණයක් බව තමා විශ්වාස කරන බවත් පියා එහිදී පැවසීය.
සිය දරුවා උතුවන්කන්ද මහා විද්‍යාලයෙන් සහ කෑගල්ල ස්වර්ණ ජයන්ති විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පොලිස් සේවයට එක්වූ ආකාරය පියා මෙහිදී සිහිපත් කළ අතර, තඹුත්තේගම පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් පුහුණුව ලබා වැල්ලම්පිටිය හා මුල්ලේරියාව පොලිස් ස්ථානවල සේවය කර මෙම ජනවාරි මාසයේ මුල කෑගල්ලට මාරුවක් ලැබ පැමිණි බවද හෙතෙම සඳහන් කළේය. පවුලේ වැඩිමලා වූ මියගිය පුතා අවිවාහකයෙකු බවත්, තම දියණිය හෙද විද්‍යාලයේ ඉගෙනුම ලබන බවත් සාක්ෂි ලබා දෙමින් පත්මසිරි මහතා ප්‍රකාශ කර සිටියේය.
කෑගල්ල මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජී. සී. පී. මංගල කුමාර මහතා විසින් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනතුරින් මොළයට සිදුවූ හානි නිසා මෙම මරණය සිදුව ඇති බවට නිගමනය කෙරුණු අතර, කෑගල්ල හදිසි මරණ පරීක්ෂක රේණුකා සුබෝධනී කළුආරච්චි නිශ්ශංක මහත්මිය විසින් මෙය රිය අනතුරකින් සිදුවූ මරණයක් බවට තීන්දු කළාය. අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බදුල්ල ප්‍රදේශයේ පදිංචි බස් රථ රියදුරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් දස දහසක මුදල් ඇපයක් සහ ලක්ෂ 10ක ශරීර ඇපයක් මත මුදා හැරීමටත්, නඩුව නැවත කැඳවීමටත් කෑගල්ල වැඩ බලන මහේස්ත්‍රාත්වරිය නියෝග කළ අතර මියගිය නිලධාරියාගේ අවසන් කටයුතු අද (02) සවස උතුවන්කන්ද පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.