පවුලේ සාමාජිකයන් සමඟ සතුටින් කාලය ගත කිරීමට ගිය විනෝද චාරිකාවක් ජීවිත කාලයටම අමතක නොවන ශෝකජනක මතකයක් ඉතිරි කරමින් නිමාවූ පුවතක් පසුගියදා වාර්තා විය. දහසක් රාජකාරි මධ්‍යයේ වුවද තම බිරිඳ සහ දරුවන් සමඟ ජීවිතය විඳින්නට වෙරළ තීරයට ගිය ආදරණීය පියෙකු, අනෙක් අයට ජීවත් වීමට අවස්ථාව සලසා දී ජීවිතයෙන් සමුගත්තේ කාගේත් දෙනෙතට කඳුළක් එක් කරමිනි.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූයේ වැලිගම වලාන ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා ලෙස කටයුතු කළ තේජාන් ජයසේකර මහතායි. වැලිගම ප්‍රදේශයේම උපත ලබා එම ප්‍රදේශයේ රෝහලේම සේවය කළ ඔහු රෝගීන්ගේ සුවපත්භාවය වෙනුවෙන් ඉමහත් කැපවීමෙන් කටයුතු කළ වෛද්‍යවරයෙකි. විශේෂයෙන්ම පසුගිය කොරෝනා වසංගත සමයේදී වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හා එක්ව රෝගීන් දසදහස් ගණනකගේ ජීවිත ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ඔහු කළ මෙහෙය ප්‍රදේශවාසීන් අදටත් කෘතවේදීව සිහිපත් කරයි.
පසුගිය නත්තල් දිනයේදී වෛද්‍යවරයා තම බිරිඳ සහ දරුවන් දෙදෙනා සමඟ මිරිස්ස වෙරළ තීරයට ගොස් තිබුණේ විවේකීව සතුටින් කාලය ගත කිරීමේ අරමුණෙනි. කාර්යබහුල වෛද්‍ය වෘත්තියේ නියැලෙන ඔහුට ලැබුණු මෙම විරාමය පවුලේ අය සමඟ ගත කිරීමට ඔහු තුළ විශාල බලාපොරොත්තුවක් තිබිණි. ඔවුන් මිරිස්ස වෙරළේ සුන්දරත්වය විඳිමින් සිටියදී නොසිතූ මොහොතක මුහුදු රළ රළු ස්වභාවයක් ගෙන තිබේ. ක්ෂණිකව පැමිණි විශාල රළ පහරක් මොවුන්ව ගසාගෙන ගොස් ඇත්තේ කිසිවෙකුටත් සිතාගැනීමටවත් නොහැකි වූ වේගයකිනි.
වෛද්‍යවරයාගේ බිරිඳ වන තිළිණි කුමාරි මහත්මිය පවසන පරිදි ඇයව දියඹට ගසාගෙන ගිය අවස්ථාවේදී අසල සිටි විදේශිකයෙකුගේ සහාය ඇතිව ඇය දිවි ගලවාගෙන ඇත. කෙසේ වෙතත්, වෛද්‍යවරයා සහ ඔහුගේ පුතණුවන් දිය රකුසාට හසුව තිබිණි. තමාට පිහිනීමට හැකියාව තිබුණද, තම පුතණුවන්ට පිහිනීමට නොහැකි බව වටහා ගත් පියා එම ජීවිත සහ මරණය අතර සටනේදී තමා ගැන නොසිතා දරුවා බේරා ගැනීමට මුල්තැන දී ඇත.
වෛද්‍ය තේජාන්ගේ බිරිඳ වන තිළිණි කුමාරි හදවතේ කැකෑරෙන වේදනාව ඉකිගසමින් පිටකළේ මෙලෙසයි. ‘මගේ අතින් අල්ලගෙන කරට අත දාගෙන මාව එක්කන් ගියේ. මමයි මැරෙන්න යන්නේ කියලා කිව්වා. මම කිව්වා මගේ පුතාටත් පීනන්න බැහැ කියලා. අපි කෑම බීමත් අරන් ගිහින් තිබ්බා. අපි ඒවාත් වෙරළට ඇවිත් කකා හිටියේ. මමත් ගොඩට ආවා. ගොඩාක් කට්ටිය මුහුදු රැල්ලේ උඩ පැන පැන හිටියා. මටත් කිව්වා එහෙට යමු කියලා. ගොඩාක් ගැඹුරක් තිබුණේ නැහැ. එයාගේ ඉණ හරියට විතර වතුර තිබ්බේ. ගැඹුරු නැහැ. මං ඉන්නවනේ කියලා කිව්වා. එච්චර ආදරයෙන් කතාකරලා කරට අත දාගෙන මාව එක්කන් ගියේ. ඒ කතා කළ නිසාමයි මම ගියේ. මට එච්චර පීනන්නත් බැහැ. මම රැල්ලේ උඩ පැන පැන ඉන්නකොට එයා මට කිව්වා ඔහොම නෙවෙයි රැල්ල එනකොට උඩ පනින්න කියලා. මට එවාත් කියලා දුන්නා. එක පාරට ලොකු රැල්ලක් ආවා මගේ මට්ටමටත් වඩා උඩට ගියා. මම එතකොට පස්ස හැරිලා බැලුවා. මට මීටර 10ක් විතර පිටිපස්සෙන් එයා හිටියා. මම රැල්ලට මුහුණ දෙන්න ඉස්සරහ පැත්ත බලාගෙන හිටියා. එයා ගැන බලන්න මට බැරිවුණා. මාව ගිලෙන්න යනවා වාගේ මට දැනුණා. මට අඩිය ගහන්න බැහැ වතුර පිරිලා. ඒ තරමට මම අත්දෙකත් උස්සලා වැනුවා. ඒත් කාටවත් ඒක පෙනුණේ නැහැ. මට මීටර 25ක් විතර එහායින් ෆොරිනර් කෙනෙක් හිටියා. මම එයාට කිව්වා මට පීනන්න බැහැ උදව් කරන්න කියලා. එයා මං ගාවට ඇවිල්ලා මාව අල්ල ගත්තා. එයාට මාවත් අරන් පීනගෙන ගොඩට යන්න බැහැ.
මම එයාට කතා කරලා කිව්වා මට පීනන්න බැහැ උදව් කරන්න කියලා. ඒ දෙන්නා මාව කකුල ගහන්න පුළුවන් මට්ටමට වෙනකල් අරන් ගියා. පස්සේ මම හිතුවා තේජාන් පීනන්න දන්නවනේ එයාට කරදරයක් නැහැ කියලා. මම හිතුවා මමයි මැරෙන්න යන්නේ කියලා. මම කිව්වා මගේ පුතාටත් පීනන්න බැහැ කියලා. වෙන ෆොරිනර් කෙනෙක් පුතාව අරගෙන එනවා. ඊට පස්සේ මම ඇහුවා පුතේ තාත්තා කෝ කියලා. තාත්තා නැහැ කිව්වා. මට පේනවා තේජාව හොයාගෙන අනිත් අය ගොඩක් දුර යනවා. විනාඩි 10ක් විතර ගියාට පස්සේ බෝට් එහෙක දාගෙන එයාව අරන් ආවා. එයා කටිනුයි නහයෙනුයි සෙම දැම්මා. එයාට පීනගන්න බැරිවෙලා….’
මෙම සිදුවීමේදී වඩාත් සංවේදී කරුණ වන්නේ පියා විසින් දරුවා බේරාගත් ආකාරයයි. "තාත්තා මාව කකුල් දෙකෙන් උස්සලා ගොඩට දැම්මා" යනුවෙන් එම කුඩා දරුවා පැවසූ වචන ඇසූවන්ගේ හදවත් කම්පනයට පත් කළේය. දරුවා දියමත ඔසවා තබා ගොඩබිමට තල්ලු කළ පියා, ජල පහර සමඟ පොරබදමින් දරුවාට ජීවිතය දී තමා දිය යට අතුරුදන් විය. පසුව අවට සිටි පිරිස විසින් වෛද්‍යවරයාව ගොඩට ගෙන මාතර මහ රෝහලට ඇතුළත් කළද ඒ වන විටත් ඔහු මෙලොව හැරගොස් තිබිණි.
මියයන විට 49 වැනි වියේ පසුවූ වෛද්‍ය තේජාන් ජයසේකර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු වැලිගම, වල්ලිවල පිහිටි ඔහුගේ නිවසේදී සිදු කෙරිණි. දරුවෙකු වෙනුවෙන් පියෙකුට කළ හැකි ඉහළම පරිත්‍යාගය සිදු කරමින්, තම දරුවාට හෙට ලෝකය දැකීමට ඉඩ සලසා දී ඔහු නික්ම ගියේය. රටට වටිනා වෛද්‍යවරයෙකු අහිමි වීම කනගාටුවට කරුණක් වන අතරම, තම පවුල වෙනුවෙන් දිවි පිදූ උතුම් පියෙකු ලෙස ඔහු සැමදා මතකයේ රැඳෙනු ඇත.