පසුගිය නොවැම්බර් මස 16 වන දින ත්‍රිකුණාමලය ප්‍රදේශයේ වෙරළ තීරයක් ආශ්‍රිතව සිදුකළ ආගමික ඉදිකිරීමක් මුල්කරගෙන හටගත් සිදුවීමකට අදාළව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමෙන් අනතුරුව, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සිව් නමක් සහ තවත් ගිහි පුද්ගලයන් පස් දෙනෙකු ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් එම්.එස්.එම්.
සම්සුදීන් මහතා විසින් මෙම නියෝගය ලබා දෙනු ලැබුවේ අදාළ සැකකරුවන් ඊයේ දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී කරුණු සලකා බැලීමෙන් අනතුරුවය.මෙම සිදුවීමට පාදක වී ඇත්තේ ත්‍රිකුණාමලය, කොටුව වෙරළ කලාපය තුළ වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිසි අවසරයකින් තොරව අනවසර ඉදිකිරීමක් සිදු කරමින් බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමට උත්සාහ කිරීමේ සිද්ධියයි. වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කරමින් සිදුකළ මෙම ක්‍රියාව හේතුවෙන් පසුගිය 2025 වසරේ නොවැම්බර් මස 16 වන දින අදාළ ස්ථානයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ද හටගෙන තිබිණි. එකල එම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට සහ බුද්ධ ප්‍රතිමාව ඉවත් කිරීමට නිලධාරීන් උත්සාහ කළ අවස්ථාවේදී මහා සංඝරත්නය සහ ප්‍රදේශවාසීන් ඊට දැඩි විරෝධයක් පළ කිරීම හේතුවෙන් පොලිසිය සහ රැස්ව සිටි පිරිස අතර නොසන්සුන්තාවක් ඇති වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
සිද්ධියට අදාළ නඩුව ඊයේ දිනයේදී ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් වෙනුවෙන් සහ පැමිණිල්ල වෙනුවෙන් ඉදිරිපත් වූ කරුණු දීර්ඝ ලෙස විමසා බැලීමට මහේස්ත්‍රාත්වරයා කටයුතු කළේය. එහිදී ත්‍රිකුණාමලය වරාය පොලිසිය සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර තිබූ චෝදනා පත්‍රවලට අනුව වෙරළ ආරක්ෂණ ආඥා පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය වීමක් සිදුව ඇති බව අධිකරණයේ අවධානයට ලක් විය. විශේෂයෙන්ම ඓතිහාසික හා පෞරාණික වටිනාකමක් ඇති ස්ථානවල මෙවැනි අනවසර ඉදිකිරීම් සිදු කිරීම මගින් එම වටිනාකම්වලට හානි සිදුවිය හැකි බව පැමිණිලි පාර්ශ්වය පෙන්වා දී තිබේ. වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරයෙකු ද, පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් පොලිස් නීතිඥවරයෙකු ද අධිකරණය හමුවේ කරුණු දැක්වූ අතර, අදාළ පනත යටතේ සැකකරුවන්ට ඇප ලබා දීමේ බලයක් මහේස්ත්‍රාත් අධිකරණයට නොමැති බව එහිදී නීතිමය තර්ක ඉදිරිපත් කෙරිණි.
අධිකරණ නියෝගය අනුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු පිරිස අතර ප්‍රමුඛ පෙළේ භික්ෂූන් වහන්සේලා සිව් නමක් වෙති. ඒ අතර වනවාසී බලන්ගොඩ කස්සප හිමියන්, ත්‍රිකුණාමලය සම්බුද්ධ ජයන්ති විහාරයේ විහාරාධිපති ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස හිමියන්, ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී බොරලුකන්ද රජමහා විහාරාධිකාරී පූජ්‍ය සුඛිතවංශ තිස්ස හිමියන් සහ ත්‍රිකුණාමලය ආනන්දාරාම විහාරවාසි (ගිරිහඩු සෑය ශාඛාව) පූජ්‍ය ත්‍රිකුණාමලයේ නන්ද හිමියන් ඇතුළත් වේ. මීට අමතරව සිද්ධියට සම්බන්ධ සිවිල් පුද්ගලයන් පස් දෙනෙකු ද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර, සම්බුද්ධ ජයන්ති විහාරයේ දායක සභාවේ ලේකම් විදුරංග ලොකු ගලප්පත්ති, හිටපු නාගරික මන්ත්‍රීවරියක මෙන්ම එක්සත් ජාතික පක්ෂ සංවිධායිකාවක වන එම්.එච්. දීපානි, ලියනගේ තිලක් පෙරේරා, එම්.සී. පියල් හේමසිරි සහ දුලාර ගුණතිලක යන අය ඊට අයත් ය.
මෙම නඩුවට අදාළව මුලින් සැකකරුවන් 11 දෙනෙකුට පසුගිය දෙසැම්බර් මස 10 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබුණ ද, ඊයේ දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටියේ සැකකරුවන් නව දෙනෙකු පමණි. විත්තිකරුවන් ලෙස නම් කර තිබූ සුතිප්ප ලියනගේ සහ සුගත් ප්‍රසන්න යන අය අධිකරණය මගහැර සිටි අතර, ඔවුන් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ලබන 19 වනදා තීරණය කරන බව අධිකරණය නිවේදනය කළේය. එසේම, මෙම නඩුවට අදාළව තවත් පුද්ගලයන් සිව් දෙනෙකු අලුතින් සැකකරුවන් ලෙස නම් කිරීමට ද අධිකරණය විසින් පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය තහවුරු කර ඇත.
මේ අතර, අධිකරණ නියෝගයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කළ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සහ සෙසු පිරිස මේ වන විට ත්‍රිකුණාමලය බන්ධනාගාරය වෙත යොමු කර තිබේ. රක්ෂිත බන්ධනාගාර ගත කළ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් බන්ධනාගාරය තුළ විශේෂ වරප්‍රසාද හෝ පහසුකම් කිසිවක් ලබා දී නොමැති බවත්, සාමාන්‍ය ක්‍රමවේදය යටතේ රඳවා තැබීම සිදු කරන බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විශේෂ ප්‍රකාශයක් කරමින් අවධාරණය කර ඇත. බන්ධනාගාර නීතිරීති හා රෙගුලාසි අනුව සියලු රැඳවියන්ට පොදු පහසුකම් යටතේ කටයුතු සිදුවන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම සිද්ධිය මුලින්ම වාර්තා වූයේ 2025 නොවැම්බර් 16 වන දින ත්‍රිකුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසර කුටියක් ඉදි කර බුදු පිළිමයක් තැන්පත් කිරීමට කටයුතු කරන බවට වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්මේන්තුවේ නිලධාරීන් විසින් ත්‍රිකුණාමලය වරාය පොලිස් ස්ථානයට කළ පැමිණිල්ලක් පදනම් කරගෙනය. එම පැමිණිල්ලට අනුව විමර්ශන ආරම්භ කළ පොලිසිය, අදාළ ඉදිකිරීම් අනවසර බවට කරුණු තහවුරු කර ගැනීමෙන් අනතුරුව නීතිමය ක්‍රියාමාර්ගවලට එළැඹිණි. එම අවස්ථාවේදී ඇති වූ කලහකාරී තත්ත්වය පාලනය කිරීමට පොලිසියට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූ අතර, වත්මන් නඩු විභාගය එම සිදුවීම් දාමයේ ප්‍රතිඵලයක් ලෙස විභාග වෙමින් පවතී. ලබන 19 වනදා නඩුව නැවත කැඳවීමට නියමිත අතර එදිනට රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.