opposition-leader-thanks-pucsl-for-not-increasing-electricity-tariffs-as-demanded-by-the-government

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිදුකර ඇති ප්‍රකාශය පහතින්




"අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාටත්, වත්මන් රජයටත් අපි දිගින් දිගටම අවධාරණය කළ කාරණය නම් මැතිවරණ පොරොන්දු ඉටු කරන ලෙසයි. මැතිවරණ වේදිකාවේදී ජනතාවට පැවසූ දේ ඒ ආකාරයෙන්ම ඉටු කරන්න. පොරොන්දු වූ පරිදි විදුලි බිල 33%කින් අඩු කරන්න.

නමුත් රජය විදුලි බිල අඩු කිරීමට කටයුතු කරනවා වෙනුවට 11.57%ක ගාස්තු වැඩි කිරීමක් යෝජනා කළා. රජය යෝජනා කළ මෙම විදුලි ගාස්තු ඉහළ දැමීම ප්‍රතික්ෂේප කිරීමට මහජන උපයෝගිතා කොමිසම ගත් තීරණය පිළිබඳව අපි අද ස්තූතිවන්ත වෙනවා.




වර්තමාන රජය ජනතාව සමඟ ඇති කරගත් සමාජ ගිවිසුම ක්‍රියාත්මක කරන ලෙස අපි මහජන උපයෝගිතා කොමිසමෙන් තවදුරටත් ඉල්ලා සිටිනවා. විදුලි බිල 33%කින් අඩු කිරීම, එනම් රු. 9000 බිල රු. 6000 කිරීම සහ රු. 3000 බිල රු. 2000 දක්වා අඩු කිරීම වැනි පොරොන්දු ඉටු කිරීමට මෙම රජය බැඳී සිටිනවා. ඡන්ද දායකයාත්, ඡන්ද දායකයා විසින් පත් කළ ආණ්ඩුවත් අතර පවතින මෙම සමාජ ගිවිසුම අන් කවර ගිවිසුමකටත් වඩා ඉහළින් පවතී. එබැවින් එය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක විය යුතුයි.

අද වන විට වර්තමාන රජය ව්‍යාජ විදුලිබල ප්‍රතිපත්තියක් නිර්මාණය කරමින්, රටේ ගල් අඟුරු, ඉන්ධන සහ තාප බලාගාර මාෆියාවන් ශක්තිමත් කිරීමට කටයුතු කර තිබෙනවා. එදා ඔවුන් පොරොන්දු වූයේ පුනර්ජනනීය බලශක්තිය රැක ගන්නා බවටයි. නමුත් වර්තමාන රජය එක් පසෙකින් ලක්ෂ 70කට අධික විදුලි පාරිභෝගික ජනතාවට විදුලි බිල ඉහළ දමමින් පහර පිට පහර එල්ල කරන අතරම, අනෙක් පසින් පුනර්ජනනීය බලශක්තිය විනාශ කිරීමට කටයුතු කරමින් සිටිනවා.



පැහැදිලිවම ඉන්ධන සහ තාප බලාගාර මාෆියාවට යට වී සිටින වර්තමාන රජයට, මෙරට විදුලි පාරිභෝගිකයින්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට අපි ඉඩ තබන්නේ නැහැ.

අපි ගෙන ගිය අරගලය අද සාර්ථක වී තිබෙනවා. පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටත මහ පාරේ උද්ඝෝෂණ හරහාත් විදුලි පාරිභෝගිකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ ගමනට අපි නායකත්වය ලබා දුන්නා. මහජන උපයෝගිතා කොමිසමට අපගේ ස්තූතිය පුද කර සිටිනවා. ලක්ෂ 70කට අධික විදුලි පාරිභෝගිකයින්ගේ අයිතිය ආරක්ෂා කිරීමට ඔබ කටයුතු කළා.

එම පොරොන්දු ඉටු කරන තෙක් අපි අපගේ ජනතාවාදී, ජනහිතකාමී ව්‍යාපාරය අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. ඒ පමණක් නොව, පුනර්ජනනීය බලශක්තිය රැක ගැනීමට සහ සුරක්ෂිත කිරීමට අපට කළ හැකි උපරිම කාර්යභාරය අපි ඉටු කරනවා.

නැවත වරක් මහජන උපයෝගිතා කොමිසමට අපි ස්තූතිය පුද කර සිටිනවා. ලක්ෂ 70කට අධික විදුලි පාරිභෝගිකයාගේ අයිතිය ආරක්ෂා කිරීමට ඔබ කටයුතු කළා. මැතිවරණයේදී පොරොන්දු වූ පරිදි විදුලි බිල 33%කින් අඩු කිරීමට රජය කටයුතු කළ යුතුයි. සෑම විටම මෙරට පොදු ජනතාව වෙනුවෙන් සහ විදුලි පාරිභෝගික ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් සටන් කිරීමට අපි නායකත්වය ලබා දෙනවා."