no-revision-to-electricity-tariffs-for-the-first-quarter-of-2026-pucsl

2026 වසරේ පළමු කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් සිදු නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ. ලංකා විදුලිබල මණ්ඩලය විසින් නියමිත කාලරාමුව තුළ විධිමත් ගාස්තු යෝජනාවලියක් ඉදිරිපත් නොකිරීම සහ මුලින් ඉදිරිපත් කළ යෝජනාව දෝෂ සහගත වීම මෙම තීරණයට මූලික හේතු වී ඇත.

යම් හෙයකින් මෙම අවස්ථාවේ නව යෝජනාවක් ඉදිරිපත් කළද, එය ක්‍රියාත්මක කිරීමට හැකි වනුයේ මෙම කාර්තුවේ ඉතා කෙටි කාලයක් සඳහා පමණක් බැවින්, එමගින් සිදුවිය හැකි අවාසිදායක තත්ත්වයන්ද කොමිෂන් සභාවේ අවධානයට ලක්ව තිබේ.




සාමාන්‍ය ක්‍රමවේදය අනුව 2026 ජනවාරි මස සිට මාර්තු දක්වා බලපැවැත්වෙන ගාස්තු යෝජනාවලිය පසුගිය වසරේ නොවැම්බර් 14 වැනි දිනට පෙර ඉදිරිපත් කරන ලෙස කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලයට දැනුම් දී තිබුණි. එසේ වුවද, විදුලිබල මණ්ඩලය සිය යෝජනාව ඉදිරිපත් කර තිබුණේ 2025 දෙසැම්බර් 29 වැනි දිනය. එම යෝජනාවේද දෝෂ පැවති හෙයින්, නිවැරදි කළ යෝජනාවලියක් ජනවාරි 8 වැනි දිනට පෙර ලබා දෙන ලෙස කොමිසම දැනුම් දුන්නද, එය ඉදිරිපත් කිරීම තවදුරටත් ප්‍රමාද වන බව විදුලිබල මණ්ඩලය විසින් දන්වා ඇත.

මේ වන විටත් සංශෝධිත යෝජනාවලියක් ලැබී නොමැති අතර, දැන් එය ලැබුණද මහජන උපදේශන සහ සමාලෝචනවලින් පසුව එය ක්‍රියාත්මක කිරීමට හැකි වනුයේ පළමු කාර්තුවේ අවසන් කාල පරිච්ඡේදය සඳහා පමණි. එසේ කෙටි කාලයක් සඳහා ආදායම් හා වියදම් ගැළපීමේදී ඉහළ ප්‍රතිශතයකින් විදුලි ගාස්තු වෙනස් විය හැකි බවත්, එය ජාතික ආර්ථිකයට අහිතකර ලෙස බලපෑ හැකි බවත් නිරීක්ෂණය වී තිබේ. මෙම කරුණු සලකා බැලීමෙන් අනතුරුව පළමු කාර්තුව තුළ ගාස්තු සංශෝධනයක් සිදු නොකිරීමට තීරණය කෙරුණු අතර, 2026 දෙවන කාර්තුව සඳහා වන ගාස්තු යෝජනාවලිය පෙබරවාරි 13 වැනි දිනට පෙර ඉදිරිපත් කරන ලෙස කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබා දී ඇත.

news-2026-01-14-160533