සිය වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් විසඳුම් ලබා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලබා දී තිබූ පැය 48 ක කාලය අද (31) උදෑසන 8.00 න් අවසන් වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. සිය ගැටලුවලට බලධාරීන්ගෙන් මේ දක්වා සාධනීය විසඳුමක් නොලැබීම හේතුවෙන් දැනට ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා අවධාරණය කළේය.
මීට අදාළව ඉදිරි ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කිරීම සඳහා සංගමයේ විධායක සභාව අද උදෑසන රැස්වීමට ද නියමිතව තිබිණි.පසුගිය 26 වැනිදා උදෑසන සිට දිවයින පුරා රෝහල් පද්ධතිය ආවරණය වන පරිදි ක්‍රියාත්මක වූ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ඊයේ (30) දිනය වන විටත් රෝහල් කටයුතු සඳහා එල්ල වී තිබුණේ දැඩි බාධාවකි. බාහිර ආයතන වෙතින් ඖෂධ ලබා ගැනීමට නිර්දේශ කිරීම සහ බාහිර රසායනාගාර පරීක්ෂණ නියම කිරීම ඇතුළු ප්‍රධාන සේවාවන් පහකින් ඉවත්වීමට වෛද්‍යවරුන් කටයුතු කර තිබීම ඊට හේතු විය.
වර්ජනය හේතුවෙන් කොළඹ ජාතික රෝහල, කළුබෝවිල සහ කළුතර නාගොඩ මහ රෝහල් මෙන්ම කරාපිටිය ශික්ෂණ රෝහල ඇතුළු ප්‍රධාන රෝහල් රැසක රෝගී සත්කාර සේවා අඩාල වී තිබේ. මේ හේතුවෙන් ප්‍රතිකාර සහ සායනික සේවා ලබා ගැනීම සඳහා පැමිණි රෝගීන් පැය ගණනක් පෝලිම්වල රැඳී සිටි අයුරුත්, ඇතැමුන් ප්‍රතිකාර නොලබාම හිස් අතින් නිවෙස් බලා ගිය අයුරුත් දක්නට ලැබිණි.
මීට පෙර පසුගිය 23 වැනිදා පැය 48 ක සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළ ද විසඳුම් නොලැබීම මත වෛද්‍යවරුන් නැවත මෙම වෘත්තීය අරගලයට අවතීර්ණ වී ඇත. ශ්‍රී ලංකා වෛද්‍ය සේවය ස්ථාපිත කිරීම, ඩැට් (DAT) දීමනාව යාවත්කාලීන කිරීම, අමතර රාජකාරි දීමනාව ස්ථාවර කිරීම සහ ප්‍රවාහන ගැටලු විසඳීම ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම් වේ. සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් මීට නිසි විසඳුම් ලබා නොදෙන්නේ නම් අඛණ්ඩ වර්ජනයක් දක්වා මෙම ක්‍රියාමාර්ගය ව්‍යාප්ත කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.