ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල මැද පෙළ පිතිකරුවෙකු ලෙස හඳුන්වා දෙන ධනංජය ද සිල්වා එංගලන්තයට එරෙහිව පැවති පරාජයට පත් විස්සයි විස්ස තරගයේදී ලකුණු 11ක් වැනි ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාම සහ ඔහු පන්දු 12ක් පුරාවට පවත්වාගෙන ගිය මන්දගාමී ඉනිම සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයට ලක්ව තිබේ. බොහෝ ක්‍රිකට් ලෝලීන් පෙන්වා දෙන්නේ පවර් ප්ලේ (Powerplay) අවස්ථාවන්හිදී පවා පන්දු රකින වළල්ලෙන් ඔබ්බට පන්දුව යොමු කිරීමට ඔහු අපොහොසත් වූ බවත්, ඔහුගේ පිතිකරණ විලාසය විස්සයි විස්ස තරග රටාවට කිසිසේත්ම නොගැලපෙන බවත්ය.
ඔහු ලබාගත් එකම හතරේ පහර පවා පිත්තේ දාරයේ වැදී ගිය වාසනාවන්ත අවස්ථාවක් බව පවසමින් ප්‍රේක්ෂකයින් ඔහුගේ තාක්ෂණය දෝෂදර්ශනයට ලක් කරයි.බහුතරයක් සමාජ මාධ්‍ය පරිශීලකයින් උත්ප්‍රාසාත්මකව පවසා සිටින්නේ ධනංජය ද සිල්වා ටෙස්ට් තරග රටාව සහ විස්සයි විස්ස තරග රටාව පටලවාගෙන ඇති බවයි. ඔහු "ශතකයට තව ලකුණු 89ක් තිබියදී" අවාසනාවන්ත ලෙස දැවී ගිය බව පවසමින් විහිළු සහගත අදහස් පළ කර ඇත්තේ ඔහුගේ ඉනිමේ තිබූ අලස ස්වභාවය ඉස්මතු කිරීමටය. විස්සයි විස්ස වැනි වේගවත් තරග රටාවකදී ලකුණු රැස් කිරීමේ වේගය (Strike Rate) අත්‍යවශ්‍ය සාධකයක් වුවද, ධනංජය දිගින් දිගටම පන්දු අපතේ යවමින් කණ්ඩායම පීඩනයට පත් කරන බවට චෝදනා එල්ල වේ.
මෙම අසාර්ථකත්වය හමුවේ ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි කෝපය එල්ල වී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව වෙතය. දක්ෂ තරුණ ක්‍රීඩකයින් වන කමිඳු මෙන්ඩිස් සහ කුසල් ජනිත් වැනි ප්‍රවේගකාරී පිතිකරුවන් කණ්ඩායමෙන් ඉවත් කර හෝ බංකුවේ තබා, ටෙස්ට් තරග සඳහා වඩාත් යෝග්‍ය ධනංජය වැනි ක්‍රීඩකයින් විස්සයි විස්ස සංචිතයට බලහත්කාරයෙන් ඇතුළත් කර ඇති බවට ඔවුහු චෝදනා කරති. මෙය හුදෙක් ක්‍රීඩකයාගේ වරදක් නොව ඔහු නුසුදුසු ආකෘතියක ක්‍රීඩා කරවන බලධාරීන්ගේ වරදක් ලෙස බොහෝ දෙනා පෙන්වා දෙති.
තවද, මෙම පිතිකරණ විලාසය ලබන මස පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියට බලපාන ආකාරය ගැනද ක්‍රීඩාලෝලීන් සිය කනස්සල්ල පළ කර තිබේ. "පවර් හිටර්" (Power Hitter) යනුවෙන් හඳුන්න්වා දෙන ක්‍රීඩකයෙකුට යාර 30 සීමාවෙන් එළියට පන්දුවක් ගැසීමට නොහැකි වීම ඛේදජනක බවත්, මෙවැනි තේරීම් හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව විනාශ මුඛයට ඇද දමන බවත් ප්‍රේක්ෂකයින් දැඩි ආවේගයෙන් යුතුව සඳහන් කරයි. සමහරෙක් සඳහන් කර ඇත්තේ මොවුන්ගේ ක්‍රීඩා විලාසය දෙස බැලීමේදී ක්‍රිකට් තරග නැරඹීම පවා එපා වන මට්ටමට පත්ව ඇති බවයි.