the-skin-cancer-cure-vaccine-introduced-by-moderna-shows-successful-results

පසුගිය කාලයේ කොරෝනා එන්නත සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන මොඩර්නා (Moderna) සහ මර්ක් (Merck) සමාගම් එක්ව නිපදවූ පර්යේෂණාත්මක පිළිකා මර්දන එන්නතක් මගින් මෙලනෝමා (melanoma) රෝගීන්ගේ රෝගය නැවත ඇතිවීමේ හෝ මරණයට පත්වීමේ අවදානම සැලකිය යුතු මට්ටමකින් අවම කර ඇති බව නවතම සායනික පරීක්ෂණයක පස් අවුරුදු දත්ත වාර්තා මගින් තහවුරු වී තිබේ.




මෙලනෝමා (Melanoma) යනු සමේ වර්ණක නිපදවන මෙලනොසයිට් සෛල ආශ්‍රිතව හටගන්නා අතිශය දරුණුතම චර්ම පිළිකා තත්ත්වය ලෙස වෛද්‍ය විද්‍යාව හඳුනාගෙන තිබේ. ප්‍රධාන වශයෙන් සූර්යාලෝකයෙන් හෝ කෘතිම සම් පදම් කිරීමේ උපකරණ (Tanning beds) මඟින් නිකුත් කරන පාරජම්බුල කිරණවලට (UV) අධික ලෙස නිරාවරණය වීම මෙහි මූලිකම හේතුව ලෙස සැළකේ. ශරීරයේ ඕනෑම ස්ථානයක, එනම් මුහුණ, අත් පා සහ පිටකොන්දේ පමණක් නොව ඇස් තුළ, පතුල්වල හෝ නියපොතු යට පවා මෙම පිළිකාමය තත්ත්වය වර්ධනය විය හැකි බව වෛද්‍ය පරීක්ෂණ මඟින් තහවුරු වී ඇත.

මොඩර්නා (Moderna) සහ මර්ක් (Merck) සමාගම් දෙක විසින් පසුගිය අඟහරුවාදා නිකුත් කරන ලද නිවේදනයකට අනුව, මර්ක් සමාගමේ කීට්‍රඩා (Keytruda) ප්‍රතිශක්තිකරණ ඖෂධය සමඟ මෙම නව එන්නත ඒකාබද්ධව ලබා දුන් රෝගීන්ගේ අවදානම, කීට්‍රඩා ඖෂධය පමණක් ලබා දුන් රෝගීන්ට සාපේක්ෂව 49% කින් අඩු වී ඇති බව අදියර 2b (Phase 2b) සායනික පරීක්ෂණ දත්ත පෙන්වා දෙයි.




මීට පෙර මෙම අධ්‍යයනයට අදාළව නිකුත් කරන ලද තුන් අවුරුදු දත්ත වාර්තා මගින්ද ඉතා යහපත් ප්‍රතිඵල පෙන්නුම් කර තිබූ අතර, රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සහ රෝගය නැවත ඇතිවීම පාලනය කිරීම සම්බන්ධයෙන් මෙම ප්‍රතිකාර ක්‍රමය අඛණ්ඩව සායනිකව වැදගත් ප්‍රගතියක් පෙන්නුම් කරන බව සමාගම් බලධාරීන් පෙන්වා දී ඇත.

මෙවැනි දිරිගන්වනසුලු ප්‍රතිඵල මගින් පිළිකා ප්‍රතිකාර සඳහා mRNA තාක්ෂණයේ ඇති විභවය මනාව පෙන්නුම් කරන බවත්, ඒ හේතුවෙන් පිළිකා රෝග අංශය වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කිරීමට තම සමාගම කටයුතු කරන බවත් මොඩර්නා සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කයිල් හෝලන් (Kyle Holen) මහතා ප්‍රකාශ කර සිටියේය.



වර්තමානය වන විට මෙම ඖෂධ සමාගම් ද්විත්වය විසින් මෙලනෝමා, පෙනහළු පිළිකා, මුත්‍රාශ පිළිකා සහ වකුගඩු ආශ්‍රිත පිළිකා ඇතුළු විවිධ පිළිකා වර්ග කිහිපයක් ඉලක්ක කර ගනිමින් තවත් අදියර 2 සහ 3 මට්ටමේ සායනික පරීක්ෂණ අටක් පමණ සිදු කරමින් පවතින බව වාර්තා වේ.

(Wall Street Journal ඇසුරිනි)