ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට පොලිසියේ විවිධ විමර්ශන අංශ හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දීම් සිදුකර තිබේ.
ඒ අනුව, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට අද (26) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණෙන ලෙස දන්වා ඇත. සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තා සමඟ සබඳතා පැවැත්වූ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා මන්ත්‍රීවරයාව මෙලෙස කැඳවා ඇති බව වාර්තා වේ.
මේ අතර, හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට හෙට (27) දිනයේදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත. ඇයව මෙලෙස කැඳවා ඇත්තේ ‘සිරිලිය සවිය’ සංවිධානය පවත්වාගෙන යමින් මූල්‍ය වංචාවක් සිදු කළ බව කියන සිද්ධියකට අදාළ විමර්ශනයක් සඳහා ප්‍රකාශයක් ලබා ගැනීමටය.
විශේෂයෙන්ම කොළඹ මියුසියස් විද්‍යාලය ආසන්නයේ පිහිටි නිවසක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස, දූෂණය හා නාස්තියට එරෙහි සංවිධානය විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ. 2013 වසරේ අප්‍රේල් මස 05 වන දිනට අදාළ ඔප්පුවක් මඟින් මෙම නිවස මිලදී ගැනීමේදී සිරිලිය ගිණුමේ තිබූ රුපියල් ලක්ෂ 350 ක මුදලක් යොදවා ඇති බව එම පැමිණිල්ලේ සඳහන් වන අතර, මෙය දූෂිත ගනුදෙනුවක් බැවින් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස එම සංවිධානය ඉල්ලා සිටියි.