මිහින්තලේ රාජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංඟුණවැවේ ධම්මරතන නාහිමියන්ට සහ මිහින්තලා පුදබිමට එරෙහිව සමාජ මාධ්‍ය හරහා සහ විවිධ පුද්ගලයන් විසින් සිදුකරනු ලබන අපහාස කිරීම් සම්බන්ධයෙන් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේලා බලවත් කම්පාවට සහ සංවේගයට පත්ව සිටින බව ජ්‍යෙෂ්ඨ නීතිඥ හේමක සේනානායක මහතා පවසා සිටියේය. හෙතෙම මේ බව සඳහන් කළේ අදාළ අපහාස කිරීම් සහ තර්ජනය කර කප්පම් ඉල්ලීමේ චෝදනාවලට අදාළ නඩු කටයුත්ත අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් පී.එච්.ඩබ්.ඩී.එල්.
සමරසිංහ මහත්මිය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී විවෘත අධිකරණයේ කරුණු දක්වමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා පෙන්වා දුන්නේ විවිධ පාර්ශ්වයන් විසින් විහාරාධිපති හිමියන්ට සහ පුදබිමට එරෙහිව කරනු ලබන මෙම අපහාසාත්මක ක්‍රියාවලිය ආරම්භයේ පුරෝගාමියා ලෙස කටයුතු කර ඇත්තේ මෙම නඩුවේ විත්තිකරු වන අජිත් එදිරිසිංහ නමැත්තා බවයි. "මිහින්තලාවෙන් හඬක්" නමින් පවත්වාගෙන යනු ලබන යූටියුබ් නාලිකාවේ පරිපාලකවරයා වන විත්තිකරු විසින් එම නාලිකාව හරහා මෙම නින්දා සහගත ප්‍රචාරයන් ආරම්භ කිරීමෙන් අනතුරුව වෙනත් පුද්ගලයන්ද එය අනුගමනය කරමින් අපහාස කිරීමට පෙළඹී ඇති බව නීතිඥවරයා අධිකරණය හමුවේ චෝදනා කළේය.
වට්ස්ඇප් මාර්ගයෙන් විහාරාධිපති හිමියන්ට තර්ජනය කරමින් කප්පම් ඉල්ලීම සහ යූටියුබ් නාලිකාව හරහා අපහාස කිරීම යන චෝදනා යටතේ ගොනු කර ඇති මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී පැමිණිලිකාර මිහින්තලේ විහාරාධිපති හිමියන් අධිකරණය හමුවේ සාක්ෂි ලබා දීමද සිදුවිය. මිහින්තලේ පොලීසියේ නිලධාරීන් විසින් සාක්ෂි මෙහෙයවනු ලැබූ අතර පැයකට අධික කාලයක් පුරා උන්වහන්සේ සාක්ෂි ලබා දුන් පසුව විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නදීෂා විජේරත්න මහත්මිය විසින් හරස් ප්‍රශ්න විමසීමද සිදු කරන ලදී.
මිහින්තලේ නුවර පාර ප්‍රදේශයේ පදිංචි අජිත් එදිරිසිංහ නම් සැකකරු මේ වන විට ඇප මත මුදා හැර සිටින අතර ඔහුට එරෙහිව මීට සමාන චෝදනා යටතේම තවත් නඩු දෙකක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ සහ අලුත්කඩේ දිසා අධිකරණයේ විභාග වෙමින් පවතින බව විහාරාධිපති හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මීට පෙර අධිකරණයට දැනුම් දී තිබුණි. මෙම සියලු නඩු කටයුතු සඳහා පාදක වී ඇත්තේ විහාරාධිපති හිමියන්ට සහ පුදබිමට අපහාස කිරීම සහ තර්ජනය කර කප්පම් ඉල්ලීම යන කරුණු බවද එහිදී අනාවරණය විය.
නඩුවේ වැඩිදුර විභාගය ලබන මැයි මස 27 වන දින දක්වා කල් තැබීමට අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළ අතර එදිනට සාක්ෂි ලබා දීම සඳහා විමර්ශන පොලිස් නිලධාරීන් කැඳවන ලෙසටද නියෝග කෙරිණි. මෙම නඩු කටයුත්තේදී පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන හේමක සේනානායක, චන්දන වීරකෝන් ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් මිහින්තලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් චන්ද්‍රසිරි මහතාගේ උපදෙස් මත සැරයන් බණ්ඩාර මහතා පෙනී සිටියේය.