ralahami-was-made-to-sit-on-a-chair-and-attacked-for-sneaking-into-a-house-to-have-an-affair

පොතුපිටිය පොලිසියට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙකුට කාන්තාවකගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් විසින් පහර දී තුවාල සිදු කිරීමේ පුවතක් පොතුපිටිය, කත්ලාන ප්‍රදේශයෙන් වාර්තා වේ. පසුගිය 13 වැනිදා රාත්‍රියේ සිදුවූ මෙම පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා ප්‍රතිකාර සඳහා රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.




අදාළ පොලිස් නිලධාරියා එදින රාත්‍රියේ සැමියා විදෙස්ගතව සිටින කාන්තාවක් පදිංචිව සිටි නිවසකට පැමිණ ඇති අතර, එය දුටු කාන්තාවගේ සැමියාගේ ඥාතීන් සහ අසල්වාසීන් එක්ව ඔහුව අල්ලාගෙන ඇත. මොහු අදාළ කාන්තාව සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වන බවට චෝදනා කරමින් විසි පස් දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් ඔහුට පහර දී ඇති බව වාර්තා වේ. එමෙන්ම පහරදීම සිදුකළ පිරිස විසින් කොස්තාපල්වරයාව නිවසේ පුටුවක හිඳුවා පහර දෙන ආකාරය වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමට ද කටයුතු කර තිබුණි.

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන පොතුපිටිය පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක කුමාර නලවංශ මහතා පවසන්නේ මෙය සැලසුම් සහගතව සිදුකළ පහරදීමක් විය හැකි බවයි. පහරකෑමට ලක්වූ නිලධාරියා ප්‍රදේශයේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා ක්‍රියාකාරීව දායක වූ නිලධාරියෙකු වන අතර, එදින රාජකාරි කටයුත්තක් සඳහා ගොස් එමින් සිටියදී පිරිසක් මග රැක සිට මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව ස්ථානාධිපතිවරයා අවධාරණය කරයි.




පහරදීමට සම්බන්ධ සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇති නමුත් ඔවුන් ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිටින බව පොලිසිය සඳහන් කරයි. රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර සහ රත්නපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.එම්. ජයරත්න යන මහත්ම මහත්මීන්ගේ උපදෙස් මත පොතුපිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.