sri-lankans-fake-poland-visa-arrests

පෝලන්තය වෙත නීතිවිරෝධී ලෙස යාම සඳහා ව්‍යාජ වීසා බලපත්‍ර භාවිතා කිරීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇත. අද (06) උදෑසන ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට මෙරටට පැමිණෙමින් සිටියදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගනු ලැබීය.




අත්අඩංගුවට ගත් පිරිස අතර, මීගමුව ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි අඹුසැමි යුවළක්, කොළඹ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙක් සහ යාපනය කරෙව්ති ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක් සිටින බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නීත්‍යානුකූලව පෝලන්තය වෙත යාම සඳහා මෙම පුද්ගලයින් විසින් තැරැව්කරුවන්ට රුපියල් ලක්ෂ 64ක මුදලක් ගෙවා ඇති බව වාර්තා වේ. ඒ අනුව, ඔවුන් වීසා ලබාගැනීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි පෝලන්ත තානාපති කාර්යාලය වෙත ගොස් ඇඟිලි සලකුණු ලබා දී තිබේ. අද උදෑසන 6.00ට පමණ නවදිල්ලි සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඔවුන් ආගමන නිෂ්කාශන කටයුතු සඳහා ඉදිරිපත් කළ වීසා බලපත්‍ර පිළිබඳව සැකයක් මතුව ඇත. මෙම ලේඛන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත යොමු කිරීමෙන් පසු සිදුකළ තාක්ෂණික පරීක්ෂණවලදී ඒවා කූඨ ලෙස සකස් කළ ව්‍යාජ වීසා බලපත්‍ර බව තහවුරු වී තිබේ.




කෙසේ වෙතත්, මෙම වීසා බලපත්‍ර ව්‍යාජ ඒවා බවට අත්අඩංගුවට ගන්නා තෙක් ගුවන් මගීන්ට කිසිදු දැනුවත්කමක් නොතිබූ බවට අනාවරණය වී ඇත. එමෙන්ම, ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු මෙම ව්‍යාජ වීසා බලපත්‍ර සඳහා තවත් විශාල මුදලක් තැරැව්කරුවන්ට ගෙවීමට ඔවුන් සූදානමින් සිට ඇති බව ද පරීක්ෂණවලින් හෙළි වී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරයි.