mahesh-rosmid-locality-wijeramala-and-finally-mirigama

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මියගේ දියණිය වන හේමාලී විජේරත්න, අල්ලස් කොමිසමේ නිලධාරීන්ට බැණ තර්ජනය කර රාජකාරියට බාධා කිරීමේ චෝදනාවලින් තමන් නිවැරදිකාරිය බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ අද (06) දින ප්‍රකාශ කළාය.




රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලැබූ නේවාසික රෝගීන්ට ස්නායු ශල්‍ය උපකරණ වැඩි මිලට විකිණීමෙන් දූෂණ වරදක් සිදු කළා යැයි කියන විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි. 2025 වසරේ ජූලි මස 07 වන දින හෝ ඊට ආසන්න දිනකදී, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී විත්තිකාර හේමාලී විජේරත්න විසින් අල්ලස් කොමිසමේ නිලධාරීන්ට තර්ජනය කර රාජකාරියට බාධා කළ බවට අල්ලස් කොමිසම විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

අධිකරණය හමුවේ පෙනී සිටි විත්තිකාරිය අදාළ චෝදනාවන්ට නිවැරදි බව ප්‍රකාශ කිරීම හේතුවෙන්, ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් නඩුව විභාගයට ගැනීමට නියම කළේය. ඒ අනුව සාක්ෂිකරුවන්ට මැයි මස 05 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.




විත්තිකාරිය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ උපුල් කුමරපෙරුම මහතා, තම සේවාදායිකාව නඩු විභාගයට මුහුණ දීමට සූදානම් බව අධිකරණයට දැන්වීය. ඇයගේ අධ්‍යාපන කටයුතුවලට බාධා නොවන පරිදි විදේශගත වීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලීමක් කළ නීතිඥවරයා, බ්‍රිතාන්‍යයේ විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හැදෑරීම සඳහා ඇය විදේශගත විය යුතු බව පෙන්වා දුන්නේය. ඉදිරි නඩු දිනයේදී අධිකරණයේ පෙනී සිටීමට ද විත්තිකාරිය කැමැත්ත පළ කළාය.

ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, හේමාලී විජේරත්න විත්තිකාරියට අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගතවීමට අවසර ලබා දුන්නේය. එසේම පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට නිකුත් කළ නොතීසි අනුව, පැමිණිලි විභාගය මැයි මස 05 වන දින ආරම්භ කරන බවට ද මහේස්ත්‍රාත්වරයා නැවතත් නියෝග කළේය.