ජාත්‍යන්තර පොලීසිය මගින් නිකුත් කරන ලද රතු වරෙන්තුවකට අනුව මේ වන විට රුසියානු ආරක්ෂක අංශ භාරයේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘රොටුඹ අමිල’ නැමැත්තා එරට පුරවැසිභාවය ලබා ගැනීම සඳහා රුසියානු හමුදාවට එක්වීමට ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ. මොහු මෙරටට පිටුවහල් කිරීම වළක්වා ගැනීමේ අරමුණින් මෙම උපක්‍රමය භාවිතා කිරීමට සැලසුම් කර ඇති බව බුද්ධි අංශ වෙත ලැබී ඇති නවතම තොරතුරු මගින් අනාවරණය වී තිබේ.
මෙම තොරතුරු පදනම් කරගෙන මෙරට පොලිස් බලධාරීන් විසින් සිදු කරන ලද සොයා බැලීම්වලදී තහවුරු වී ඇත්තේ, තමන්ව ශ්‍රී ලංකාවට භාර දීම වැළැක්වීමේ අරමුණ ඇතිව රුසියානු පුරවැසිභාවය ලබා ගැනීමට මොහු සූක්ෂම සැලසුමක් ක්‍රියාත්මක කරමින් සිටින බවයි. ඒ අනුව රුසියානු හමුදා සේවයට බැඳීම හරහා එරට පුරවැසිභාවය හිමිකර ගැනීම ඔහුගේ මූලික උත්සාහය වී ඇති බවත්, ඒ සඳහා මේ වන විටත් අදාළ අංශ වෙත ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවත් ආරක්ෂක අංශවලට පෙනී ගොස් ඇත.
පසුගිය වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර පොලීසියේ මැදිහත්වීම මත රුසියානු ආරක්ෂක අංශ විසින් රොටුඹ අමිලව අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඒ බව මාර්තු මස අග භාගයේදී රුසියානු පොලීසිය විසින් නිල වශයෙන් ශ්‍රී ලංකාවට දැනුම් දෙන ලදී. අනතුරුව උදර්පණ නීතිය යටතේ මොහු මෙරටට ගෙන්වා ගැනීමට අදාළ කටයුතු ආරම්භ කළ ද, ඔහු විසින් එරට අධිකරණය හමුවේ ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබීම හේතුවෙන් එම ක්‍රියාවලිය තවමත් සාර්ථක කර ගැනීමට නොහැකි වී ඇති පසුබිමක මොහු මෙලෙස රුසියානු හමුදාවට එක්වීමේ උත්සාහයක නිරත වේ.
සේපාල රත්නායකගේ අමිල සම්පත් හෙවත් රොටුඹ අමිලට එරෙහිව රුසියානු අධිකරණයේ නඩු විභාගයක් පැවැත්වෙන්නේ මෙම ආගමන විගමන නීති කඩකිරීම සම්බන්ධයෙනි. එම නඩු කටයුත්ත මෙතෙක් අවසන් නොවීම හේතුවෙන් ඔහුව මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය ප්‍රමාද වී තිබේ.
කෙසේ වෙතත්, රොටුඹ අමිල මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් මේ වන විටත් අවසන් කර ඇති බව අදාළ උසස් පොලිස් නිලධාරියා තවදුරටත් සඳහන් කළේය. මීට පෙර මෙරටදී අපරාධ චෝදනා මත රිමාන්ඩ් භාරයේ සිටි ඔහු, පසුව ඇප ලබා කෙසේ හෝ රටින් පැන යාමට සමත් වී තිබිණි.
මාතර, රොටුඹ ප්‍රදේශයේ වෙළඳසැලක් තුළදී නාලක පුෂ්ප කුමාර නමැති ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ සහායකයෙකු වූ ජාසිංකන්දගේ නිලංග සඳරුවන් යන දෙදෙනාට ටී-56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ.
මෙම ඝාතන තැත ඩුබායි සිට මෙහෙයවා ඇති බවට දුරකථන විශ්ලේෂණ වාර්තා සහ බුද්ධි තොරතුරු මගින් අනාවරණය වීමෙන් පසු 2019 වසරේදී ඔහු පොලිස් අත්අඩංගුවට පත්ව තිබුණි. එම වසරේදීම මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායිහි පැවති සාදයකදී අත්අඩංගුවට පත්වීමෙන් පසු එරටින් පිටුවහල් කළ අවස්ථාවේදී, කටුනායක ගුවන් තොටුපළේ රහස් පොලිස් ඒකකය මගින් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
මීට පෙර කංජිපානි ඉම්රාන් ද ඩුබායිහිදී හසුවී, පසුව ඇප මත නිදහස් වී නැවතත් සිය ප්‍රචණ්ඩ ක්‍රියාකාරකම් සිදු කරමින් සිටින බවද වාර්තා වේ.