ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර සිය ගුවන් ගමන් සේවා පුළුල් කරමින්, සිංගප්පූරු ගුවන් සේවය අද (දෙසැම්බර් 06) සිට සතියකට දින තුනක් දිවා කාලයේදී අමතර ගුවන් ගමන් වාර ආරම්භ කර තිබේ. සිංගප්පූරු ගුවන් සේවයේ ශ්‍රී ලංකා කළමනාකාර අධ්‍යක්ෂ වසන්ත කුඩාලියනගේ මහතා මේ බව වාර්තා කළේය.
2026 වසර වන විට ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර ගුවන් සේවා ආරම්භ කර වසර 52 ක් සපුරන සිංගප්පූරු ගුවන් සේවය, සිය මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කරමින් මෙම නව ගමන්වාර එක් කර තිබීම විශේෂත්වයකි.
නව ගුවන් ගමන් වාර යටතේ, සතියේ සෑම අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනවලදී සිංගප්පූරුවේ චැංගි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට දැවැන්ත Airbus A350-900 වර්ගයේ මගී ගුවන් යානයක් පෙරවරු 10.45 ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණෙනු ඇත.
මේ දක්වා සිංගප්පූරු ගුවන් සේවය, දිනපතා රාත්‍රී 11.30 ට නවීනතම Boeing 787-10 Dreamliner ගුවන් යානයක් චැංගි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට කටුනායක වෙත ධාවනය කරමින් සිටියේය.
දිවා කාලයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි පළමු ගුවන් යානය ලෙස, සිංගප්පූරු ගුවන් සේවයේ SQ-463 දරන ගුවන් යානය අද පෙරවරු 10.45 ට ගුවන් මගීන් 210 ක්, කාර්ය මණ්ඩල සාමාජිකයන් 14 දෙනෙකු සහ ගුවන් භාණ්ඩ මෙට්‍රික් ටොන් 12 ක් සමඟ කටුනායකට ලඟා විය.
අනතුරුව එම ගුවන් යානය, ගුවන් මගීන් 276 දෙනෙකු, කාර්ය මණ්ඩල සාමාජිකයන් 14 දෙනෙකු සහ ගුවන් භාණ්ඩ මෙට්‍රික් ටොන් 14 ක් රැගෙන පස්වරු 12.45 ට සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපොළ බලා කටුනායකින් පිටත් විය.
මෙම වසරේ මැයි මාසයේ සිට සිංගප්පූරු ගුවන් සේවය, සතියේ දින හතේම දිනකට ගුවන් යානා දෙක බැගින් – දිවා කාලයේදී සහ රාත්‍රී කාලයේදී – කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගුවන් ගමන් වාර පැවැත්වීමට නියමිත බව ද කුඩාලියනගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.