පාසල් සිසුන්ට අවශ්‍ය ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ලබා දෙන මූල්‍ය දීමනාව 2026 වර්ෂයේදීත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට මෙලෙස අනුමැතිය ලැබී ඇති අතර, ඒ අනුව 2025 වර්ෂයේදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ගනු ලැබූ පියවර ඉදිරි වසරේදීත් බලාත්මක වනු ඇත.
මෙම ව්‍යාපෘතිය යටතේ අස්වැසුම ප්‍රතිලාභ හිමි පවුල්වල දරුවන් සඳහා පාසල් ලිපිද්‍රව්‍ය සපයා ගැනීමට එක් දරුවෙකුට රුපියල් 6,000 ක දීමනාවක් හිමි වන අතර එය සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය හරහා ලබා දීමට නියමිතය. ආර්ථික අපහසුතා ඇති පවුල්වල දරුවන්ට සිය අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කරගෙන යාම සඳහා අත්වැලක් සැපයීම මෙහි මූලික අරමුණ වේ.
අස්වැසුම වැඩසටහනට ඇතුළත් නොවන නමුත් මෙම දීමනාව ලැබීමට සුදුසුකම් ඇති සෙසු සිසුන් කණ්ඩායම් වෙත ද අවධානය යොමු කර තිබේ. ඒ අනුව දිවයින පුරා පිහිටි සිසුන් 300 ට අඩු පාසල්වල ඉගෙනුම ලබන සිසුන්, පිරිවෙන් සහ සීලමාතා ආරාමවල අධ්‍යාපනය ලබන ගිහි සහ පැවිදි සිසුන් මෙන්ම ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිටින පාසල් යන දරුවන් ද මෙම කාණ්ඩයට අයත් වේ. එම සිසුන් සඳහා ද එක් අයෙකුට රුපියල් 6,000 බැගින් වූ දීමනාව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හරහා ගෙවීමට පියවර ගනු ලැබේ.