නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා ගන්නා ලෙසත්, වත්මන් අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස කටයුතු කරන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය එම ධුරයෙන් ඉවත් වන ලෙසත් බල කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැය 24 කට වැඩි කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය සත්‍යග්‍රහය අසාර්ථකවීමෙන් පසු අවසන් කිරීමට තීරණය කර තිබේ. සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් ද සමඟ එක්ව ඔහු මෙම අඛණ්ඩ විරෝධතාවයේ නිරත වූ අතර, ඊට සමගාමීව රජය ඔහු කළ ඉල්ලීම් ඉෂ්ඨ කර තිබුනේ නැත.ඔහු පවසා තිබුනේ ඉල්ලීම් ඉටුවනතුරු අඛණ්ඩව සත්‍යග්‍රහය පවත්වන බවයි.
හරිනි ඇමති ධූරයෙන් ඉවත්වීමක් හෝ ප්‍රතිසංස්කරණ සියල්ල මුළුමනින් හකුළා ගැනීමක් නොවුණ පසුබිමක විමල්ගේ තීරණය පැහැදිලි නැත. නමුත් අද දින කැබිනට් මධ්‍ය හමුවේදී යම් සාධනීය විසදුම් කිහිපයක් මෙම ප්‍රශ්නයට ලබාදී තිබුන නමුත් ඒ සමගම ඇමති නලින්ද මෙම තීරණ විමල්ගේ සත්‍යග්‍රහයට විසදුම් නොවන බවද කියා තිබුණි.අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට එරෙහිව කුමන විරෝධතා මතු වුවද කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු නොකරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය. විමල් වීරවංශ මහතාගේ ඉල්ලීම් පරිදි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් හෝ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් නොවන බවත්, රජය ජනවරමට අනුකූලව ප්‍රතිපත්තිමය වශයෙන් මෙම ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යන බවත් හෙතෙම පැහැදිලිව සඳහන් කර සිටියේය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ හෝ විභාග දෙපාර්තමේන්තුවේ කටයුතුවලට බාධා නොවන තාක් කල් සහ මහජනතාව අපහසුතාවයට පත් නොකරන තාක් ඕනෑම කාලයක් විරෝධතාවයේ නිරත වීමට විමල් වීරවංශ මහතාට නිදහස ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එහෙත් අග්‍රාමාත්‍යවරිය ඉල්ලා අස්වන තෙක් බලා සිටින්නේ නම් ඔහුට දිගු කාලයක් එහි රැඳී සිටීමට සිදුවන බවත්, උපවාසය අත්හැරීමට ඔහුට කිසිවෙකු තැඹිලි ලබා දීමට නොපැමිණෙන බවත් ජයතිස්ස මහතා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේය.
මේ අතර 6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යළි සමාලෝචනය කර 2027 වසරේදී ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති අතර, එම තීරණය විරෝධතාව නතර කිරීමට හේතුවක් නොවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. කෙසේ වෙතත් 1 වන ශ්‍රේණිය සඳහා වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මෙම වසර තුළ සැලසුම් කළ පරිදිම ක්‍රියාත්මක කරන බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම පැවසීය.
ආන්දෝලනයට ලක්වූ 6 වන ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය සිදුකළ විමර්ශන වාර්තා අනුව, ඊට වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ජාතික අධ්‍යාපන ආයතනයේ පාලන සභාව කටයුතු කිරීමට නියමිතය. මානව සම්පත් සංවර්ධනය, යටිතල පහසුකම් හා පරිපාලන ප්‍රතිසංස්කරණ, තක්සේරු සහ ඇගයීම්, විෂයමාලා සංවර්ධනය මෙන්ම මහජන දැනුවත්භාවය යන ප්‍රධාන කුළුණු පහක් ඔස්සේ මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු ඉදිරියටත් ක්‍රියාත්මක කෙරේ.