motorcyclist-arrested-for-damaging-several-vehicles-with-a-weapon

කඩුවෙල-කොල්ලුපිටිය ප්‍රධාන මාර්ගයේ කලහකාරී ලෙස හැසිරෙමින්, ආයුධයක් වැනි උපකරණයකින් වාහන කිහිපයකට අලාභහානි සිදුකළ යතුරුපැදිකරුවෙකු වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.




ඊයේ (12) පස්වරුවේ සිදු වූ මෙම කලහකාරී සිදුවීම සම්බන්ධයෙන්, සැකකරු වාහන හතරකට අලාභහානි සිදුකරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

සිද්ධිය පිළිබඳව තොරතුරු ලැබීමත් සමග, වැලිකඩ පොලිස් නිලධාරීන් ක්ෂණිකව ක්‍රියාත්මක වී, සැකකරු ලුහුබැඳ ගොස් කෙටි කලක් තුළදී ඔහු අත්අඩංගුවට ගැනීමට සමත් විය.




රාගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු ලෙස මේ වන විට හඳුනාගෙන ඇති සැකකරු, අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.

සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන කටයුතු වැලිකඩ පොලිස් ස්ථානය විසින් සිදුකරනු ලබයි.