බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරිවරයෙකුට පහරදීම සම්බන්ධයෙන් රැඳවියන්ට ආධාර අනුබල දුන් බවට චෝදනා ලැබූ බන්ධනාගාර නියාමකවරුන් සිව්දෙනෙකු රත්ගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ගාල්ල දිසාභාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විසින් තහවුරු කරන ලද පරිදි, මෙම අත්අඩංගුවට ගැනීම ඊයේ (08) සවස සිදු විය.
මෙම සිද්ධිය පසුගිය දෙසැම්බර් මස 07 වන දින වාර්තා විය. බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් අතර ඇති වූ ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් මෙම පහරදීම සිදු වූ බව පොලිසිය ප්‍රකාශ කරයි. එහිදී, අදාළ රැඳවියන් දෙදෙනා විසින් සහකාර බන්ධනාගාර අධිකාරිවරයාට පහරදී ඇති බවට කරුණු අනාවරණය වී ඇත. පසුව සිදුකළ විමර්ශනවලදී හෙළි වූයේ, දැනට අත්අඩංගුවට ගෙන සිටින බන්ධනාගාර නියාමකවරුන් සිව්දෙනාගේ සහාය හා අනුබලය ඇතුව මෙම පහරදීම සිදුකර ඇති බවයි.
මෙම සිද්ධියට සම්බන්ධ තවත් බන්ධනාගාර නියාමකවරයෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් කර ඇති බවද වාර්තා වේ. අලුතින් අත්අඩංගුවට ගත් සැකකාර නියාමකවරුන් සිව්දෙනා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ගාල්ල දිසාභාර නියෝජ්‍ය පොලිස්පති ජගත් සේරම් මහතාගේ සහ ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අමල් එදිරිමාන්න මහතාගේ උපදෙස් මත, රත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ප්‍රියන්ත මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.