උතුරු මැද පළාතේ පොලිස් ස්ථානාධිපතිවරයකු විසින් සිය නිල නිවසේදී තමන්ව දූෂණය කළ බවට 43 හැවිරිදි දෙදරු මවක් බරපතළ චෝදනාවක් එල්ල කර තිබේ. මෙම අපරාධය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැමිණිලි කර ඇතත්, මෙතෙක් තමන්ට නිසි සාධාරණයක් ඉටු නොවූ බව පවසමින් අදාළ කාන්තාව පසුගිය 10 වැනිදා මාධ්‍ය හමුවක් පවත්වමින් කරුණු අනාවරණය කළාය.
සිද්ධියට මුහුණ දුන් කාන්තාව පවසන පරිදි, පසුගිය නොවැම්බර් මස 28 වැනිදා ඇයගේ කුඩා වෙළෙඳසැලට පුද්ගලයෙකු විසින් හානි සිදුකිරීම හේතුවෙන් ඉපලෝගම පොලිසියට පැමිණිල්ලක් කිරීමට ඇය ගොස් ඇත. එම පැමිණිල්ල විභාග කිරීමෙන් අනතුරුව අදාළ ගැටලුව සමථයකට පත් කරගෙන තිබුණ ද, පහර දුන් පුද්ගලයා නැවතත් පැමිණ ඇයට ජීවිත තර්ජනය කර තිබේ. මේ හේතුවෙන් දෙවන වරටත් පැමිණිල්ලක් සිදුකිරීම සඳහා ඇය රාත්‍රී කාලයේ පොලිස් ස්ථානය වෙත ගිය අවස්ථාවේදී, අදාළ ස්ථානාධිපතිවරයා ඇයගේ දුරකථන අංකය ඉල්ලාගෙන ඇයට ඕනෑම උපකාරයක් කිරීමට සූදානම් බව ප්‍රකාශ කර විශ්වාසය ගොඩනගාගෙන තිබේ.
පසුව විවිධ අවස්ථාවලදී ඇය අමතා ඇති ස්ථානාධිපතිවරයා, එදින රාත්‍රියේ තමාට උදව්වක් අවශ්‍ය බවත් නිල නිවසේ පිරිසකට කෑම පිසීම සඳහා පැමිණෙන ලෙසත් දන්වා ඇත. ඒ අනුව රාත්‍රී 9.35ට පමණ නිල ඇඳුමින් සැරසී සිය මෝටර් රථයෙන් පැමිණි ඔහු, ඇයව නිල නිවස වෙත කැඳවාගෙන ගොස් ඇති අතර එහි වෙනත් කිසිවෙකු නොසිටි බව ඇය සඳහන් කරයි. එහිදී නිල නිවසේ දොර අගුලු ලා, ඇති කරන බල්ලා ලවා සපා කෑමට සලස්වන බවට බිය ගන්වා, තම අකමැත්ත මතම ස්ථානාධිපතිවරයා තමන්ව දූෂණය කළ බව ඇය හඬා වැටෙමින් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළාය.
අදාළ නිලධාරියා මීට පෙරද තවත් කාන්තාවකගේ ඡායාරූප ලබා ගනිමින් අකටයුතුකම් සිදු කර ඇති බවටත්, ඒ පිළිබඳව මානව හිමිකම් කොමිෂන් සභාවට පවා පැමිණිලි ලැබී ඇති බවත් පසුව තමන්ට දැනගන්නට ලැබුණු බව වින්දිත කාන්තාව පවසයි. මෙම අපරාධය සිදු කළ නිලධාරියාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර දෙන ලෙස ඉල්ලා සිටින ඇය, පොලිස් මූලස්ථානයේ නිලධාරීන් පැමිණිල්ල භාර ගැනීමේදී තමන්ට ඉතා යහපත් අයුරින් සැලකූ නමුත් යුක්තිය ඉටුවන තෙක් බලා සිටින බව අවධාරණය කළාය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් තඹුත්තේගම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන කන්දේවත්ත මහතාගෙන් මාධ්‍ය කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ, අදාළ කාන්තාවගේ පැමිණිල්ල මත පොලිස් මූලස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් මේ වන විටත් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.