නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකින්, මහා පරිමාණ ත්‍රිරෝද රථ සොරකම් කිරීමේ ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. 2025 දෙසැම්බර් 28 වන දින මිරිහාන පොලිස් ස්ථානයට ලැබුණු ත්‍රිරෝද රථ සොරකමක් පිළිබඳ පැමිණිල්ලකට අනුව ඇරඹුණු විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස, සැකකරුවන් සන්තකයේ තිබී සොරාගත් ත්‍රිරෝද රථ 11ක් පොලිස් භාරයට ගැනීමට හැකි වී ඇත.
මෙම සිද්ධියට අදාළව, විමර්ශන නිලධාරීන් මුලින්ම සැකකරුවන් දෙදෙනෙකු 2026 ජනවාරි මස 10 වන දින අත්අඩංගුවට ගත්හ. පසුව සිදුකළ වැඩිදුර විමර්ශන ඔස්සේ ජනවාරි 11 වන දින ඊට සම්බන්ධ තවත් සැකකරුවෙකුද පොලිස් භාරයට ගැනිණි. සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත, මිරිහාන ප්‍රදේශයෙන් සොරාගත් ත්‍රිරෝද රථයක් කුරුවිට ප්‍රදේශයේදී සොයාගැනීමට හැකි විය. මීට අමතරව, යටියන්තොට, බලංගොඩ, බදුල්ල සහ බත්තරමුල්ල යන ප්‍රදේශවල සඟවා තිබූ තවත් සොරාගත් ත්‍රිරෝද රථ දහයක්ද විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අවුරුදු 30, 32 සහ 46 යන වයස්වල පසුවන කැලණිය, අම්බලන්තොට සහ පරකඩුව ප්‍රදේශවල පදිංචිකරුවන් බවට පොලිසිය තොරතුරු අනාවරණය කර ඇත. මොවුන් සොරාගත් ත්‍රිරෝද රථවල වර්ණය, චැසි අංක සහ එන්ජින් අංක සූක්ෂම ලෙස වෙනස් කර ඇති අතර, ව්‍යාජ අංක තහඩු සහ ලියකියවිලි සකස් කර ඒවා අලෙවි කිරීමට සූදානම් කර තිබූ බවටද විමර්ශනවලදී තහවුරු වී තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් තවදුරටත් විමර්ශන සිදුකරනු ලබයි.