
වසර දශක ගණනාවක් පුරා රතු මස් (Red meat) ආහාරයට ගැනීම සීමා කරන ලෙසත්, බටර් වැනි මේද අඩංගු ආහාරවලට බිය විය යුතු බවත් පවසමින් ලබා දුන් පෝෂණ උපදෙස් සම්පූර්ණයෙන්ම කණපිට පෙරළමින් ඇමෙරිකානු රජය විසින් නව ආහාර මාර්ගෝපදේශ මාලාවක් එළිදක්වා ඇති බව ඩේලි මේල් පුවත්පත වාර්තා කර තිබේ. මෙම නව උපදෙස්වලට අනුව ඇමෙරිකානුවන්ට දැන් නිර්දේශ කරනු ලබන්නේ පූර්ණ යොදය සහිත කිරි සහ යෝගට් (Full-fat dairy), බීෆ් ෆැට් (ගව මේදය) සහ ඉහළ ප්‍රෝටීන් ප්‍රමාණයක් ආහාරයට ගන්නා ලෙසයි.
විශේෂයෙන්ම මීට පෙර සෞඛ්‍යයට අහිතකර යැයි සැලකූ රතු මස් වර්ග ද නිර්දේශිත ආහාර ලැයිස්තුවට පැහැදිලිවම ඇතුළත් කර තිබීම විශේෂත්වයකි. මෙය බ්‍රිතාන්‍යය ඇතුළු ලොව පුරා පවතින සන්තෘප්ත මේදය (Saturated fat) සහ රතු මස් සීමා කිරීමට උපදෙස් දෙන සම්ප්‍රදායික පෝෂණ උපදෙස්වලට එරෙහිව යාමකි. නව මාර්ගෝපදේශවලට අදාළව නිකුත් කර ඇති ආහාර පිරමීඩයේ ස්ටේක් (Steak) වැනි මස් වර්ග ප්‍රමුඛ ස්ථානයක තබා ඇත. (පිරමීඩය මෙම ලිපියේ පහළ දක්වා ඇත)කෙසේ වෙතත්, මෙම ආහාර පිරමීඩයේ හැඩය අනුව පතුලේ ඇති දේ වැඩිපුරත්, ඉහළින් ඇති දේ අඩුවෙනුත් ආහාරයට ගත යුතු බව සාමාන්‍ය පිළිගැනීම වුවද, නව රූප සටහන සමහර විට ජනතාව නොමඟ යැවිය හැකි බව විචාරකයෝ පෙන්වා දෙති. මීට පෙර දිනකට ලබා ගත යුතු කැලරි ප්‍රමාණයෙන් 45% සිට 65% දක්වා ප්‍රමාණයක් කාබෝහයිඩ්‍රේට් මගින් ලබා ගත යුතු බව පැවසුවද, නව පිරමීඩයේ කාබෝහයිඩ්‍රේට් පහළම මට්ටමට දමා ඇත. පාන් පිටි, පැකට් කළ උදෑසන ආහාර සහ ක්‍රැකර්ස් වැනි පිරිපහදු කළ කාබෝහයිඩ්‍රේට් (Refined carbohydrates) සැලකිය යුතු ලෙස අඩු කරන ලෙසත්, ඒ වෙනුවට ඕට්ස්, දුඹුරු සහල් සහ කිනුවා වැනි තන්තු බහුල ධාන්‍ය වර්ග දිනකට වේල් දෙකක් හෝ හතරක් පමණක් ලබා ගන්නා ලෙසත් ඇමෙරිකානුවන්ට උපදෙස් දී තිබේ. නව මාර්ගෝපදේශවල ප්‍රධානතම තේමාව වී ඇත්තේ "සැබෑ ආහාර අනුභව කරන්න" (Eat real food) යන්නයි. ඉතිහාසයේ පළමු වතාවට "අධි-සකසන ලද ආහාර" (Highly processed foods) සම්පූර්ණයෙන්ම මග හැරිය යුතු කාණ්ඩයක් ලෙස නම් කර ඇති අතර, නිවසේදීම සකසා ගන්නා ආහාරවලට මුල් තැන දිය යුතු බව අවධාරණය කර ඇත.
ඇමෙරිකානු සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් (RFK Jr) සහ කෘෂිකර්ම ලේකම් බෲක් රෝලින්ස් මෙම වෙනස හඳුන්වන්නේ දශක ගණනාවකට පසු ෆෙඩරල් පෝෂණ ප්‍රතිපත්තියේ සිදුවූ "වඩාත්ම වැදගත් යළි පිහිටුවීම" ලෙසයි. කෙසේ වෙතත්, මෙම වෙනසට එරෙහිව ඇමෙරිකාව තුළ දැඩි විරෝධයක් මතුව තිබේ. මහජන යහපත සඳහා වූ විද්‍යා මධ්‍යස්ථානය (CSPI) මෙය "පැහැදිලි වැරදි තොරතුරක්" ලෙස හඳුන්වන අතර, ප්‍රෝටීන් සහ මේද පිළිබඳ උපදෙස් ව්‍යාකූල සහ හානිකර විය හැකි බවට අනතුරු අඟවයි. ඇමෙරිකානු හදවත් සංගමය ද මීට එකඟ වෙමින් රතු මස්, බටර් සහ සත්ව මේද සීමා කරන ලෙස පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී. මස් සහ කිරි ආශ්‍රිත කර්මාන්ත මෙම වෙනස ජයග්‍රහණයක් ලෙස සමරද්දී, පැකට් කළ ආහාර නිෂ්පාදකයින් නිහඬ පිළිවෙතක් අනුගමනය කළද, ක්‍රාෆ්ට් හයින්ස් වැනි සමාගම්වල කොටස් වෙළඳපොළ අගයන් පහත වැටී තිබේ.
මෑත කාලීනව ඇමෙරිකාවේ එළවළු තෙල් විරෝධී මතවාදයක් ගොඩනැගෙමින් පවතින අතර, සූරියකාන්ත සහ සෝයා බෝංචි තෙල් "විෂ සහිත කාර්මික මේද" ලෙස හඳුන්වනු ලැබේ. නව මාර්ගෝපදේශ මගින් සත්ව මේද භාවිතයට අනුමැතිය ලබා දී ඇති අතර, සෞඛ්‍ය සම්පන්න මේදයක් ලෙස ලැයිස්තුගත කර ඇත්තේ ඔලිව් තෙල් පමණි. නිව්යෝක් විශ්වවිද්‍යාලයේ පෝෂණ ප්‍රතිපත්ති විශේෂඥ මාරියන් නෙස්ලේ පවසන පරිදි බඩ ඉරිඟු සහ සෝයා නිෂ්පාදකයින්ගේ ආර්ථික බලපෑම නිසා බීජ තෙල් ගැන සඳහනක් කර නොමැති වුවද, රොබට් එෆ්. කෙනඩි ජූනියර් බීජ තෙල්වලට දැඩිව විරුද්ධ අයෙකි. මෙම නව ඇමෙරිකානු උපදෙස් පිළිපැදීම ගැන එක්සත් රාජධානියේ විශේෂඥයින්ට ඇත්තේ මිශ්‍ර අදහස් ය. ලන්ඩනයේ කිංග්ස් විද්‍යාලයේ මහාචාර්ය ටොම් සැන්ඩර්ස් පවසන්නේ මෙම උපදෙස් විද්‍යාත්මක පදනමකින් බැහැරව ජනප්‍රියවාදී ස්වභාවයක් ගෙන ඇති බවයි. ඇමෙරිකානුවන් දැනටමත් ප්‍රමාණවත් තරම් ප්‍රෝටීන් ලබා ගන්නා පසුබිමක, ප්‍රෝටීන් භාවිතය තවදුරටත් ඉහළ දැමීම සහ සත්ව මේද ප්‍රවර්ධනය කිරීම ගැන ඔහු කනස්සල්ල පළ කරයි.
නව උපදෙස්වල හරය වී ඇත්තේ හෘද රෝග ඇති වීමට බලපාන හේතු පිළිබඳ නව අර්ථකථනයයි. දශක ගණනාවක් පුරා අවධානය යොමු වූයේ රුධිරයේ ඇති "නරක" කොලෙස්ටරෝල් (LDL) අඩු කිරීම වෙත වුවද, නව මතය වන්නේ හෘද රෝග සඳහා ප්‍රධාන හේතුව රුධිරයේ ඇති මේදය නොව, සීනි සහ පිරිපහදු කළ කාබෝහයිඩ්‍රේට්වලට ශරීරය ප්‍රතිචාර දක්වන ආකාරය බවයි. බ්‍රිගම් යං විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බෙන්ජමින් බික්මන් පෙන්වා දෙන්නේ අධික කොලෙස්ටරෝල් ඇති රෝගීන්ගෙන් 70%ක් පමණ තවමත් හෘදයාබාධ අවදානමට මුහුණ දෙන බවයි. ඔහුගේ පර්යේෂණවලට අනුව රුධිර සීනි පාලනය කිරීමේ හැකියාව හෘද රෝග ගැන අනාවැකි කීමට වඩා හොඳ දර්ශකයකි. පිරිපහදු කළ කාබෝහයිඩ්‍රේට් සහ අධි-සකසන ලද ආහාර රුධිරයේ ඉන්සියුලින් මට්ටම ඉහළ දමන අතර, එය රුධිර නාලවලට හානි කරමින් මේදය තැන්පත් වීමට හේතු වේ. ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නවීඩ් සතාර් පිරිපහදු කළ කාබෝහයිඩ්‍රේට් අඩු කිරීමට එකඟ වුවද, සන්තෘප්ත මේදය සීමා කිරීම තවමත් වැදගත් බව අවධාරණය කරයි.
බොහෝ දෙනාගේ අවධානය දිනාගත් තවත් කරුණක් වන්නේ පූර්ණ යොදය සහිත කිරි නිෂ්පාදන (Full-fat dairy) නිර්දේශ කිරීමයි. මීට පෙර අඩු මේද සහිත කිරි වර්ග භාවිත කිරීමට උපදෙස් දුන්නද, නව සාක්ෂි පෙන්වා දෙන්නේ සන්තෘප්ත මේදය සෑම විටම අහිතකර නොවන බවයි. සීනි සහ පිටි සහිත ආහාර සමඟ ගත් විට එය හානිකර විය හැකි නමුත්, එළවළු, මස් සහ ධාන්‍ය සහිත සමබර ආහාර වේලක් සමඟ ගත් විට එහි අවදානමක් නොමැති බව විශේෂඥයෝ පවසති. රටවල් 21ක පුද්ගලයින් 136,000ක් යොදා ගනිමින් කළ අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ කිරි නිෂ්පාදන වැඩිපුර භාවිත කරන අයගේ හෘද රෝග අවදානම අඩු බවයි. කෙසේ වෙතත්, නව මාර්ගෝපදේශවල සන්තෘප්ත මේදය කැලරි ප්‍රමාණයෙන් 10%කට වඩා අඩුවෙන් තබා ගැනීමට තවමත් උපදෙස් දී තිබීම ව්‍යාකූලත්වයක් ඇති කරයි. සත්ව මේද භාවිත කරමින් මෙම සීමාව පවත්වා ගැනීම ප්‍රායෝගිකව කළ නොහැකි බව මහාචාර්ය සැන්ඩර්ස් පෙන්වා දෙයි.
තවද, දිනකට ශරීර බරේ කිලෝග්‍රෑමයකට ප්‍රෝටීන් ග්‍රෑම් 1.2 සිට 1.6 දක්වා ලබා ගත යුතු බවට නව ඉලක්කයක් නියම කර ඇති අතර, මෙය පැවති ප්‍රමාණය මෙන් දෙගුණයකට ආසන්නය. වයස්ගත පුද්ගලයින්ට සහ ක්‍රීඩකයන්ට වැඩිපුර ප්‍රෝටීන් වැදගත් වුවද, සාමාන්‍ය ජනතාවට ඉන් ලැබෙන අමතර වාසියක් නැති බව කැනඩාවේ මැක්මාස්ටර් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටුවර්ට් පිලිප්ස් පවසයි. "වැඩිපුර ප්‍රෝටීන් කන්න" යන පණිවිඩය නිසා මිනිසුන් එළවළු සහ ධාන්‍ය මඟ හැර මස් පමණක් ආහාරයට ගැනීමට පෙළඹෙනු ඇතැයි විශේෂඥයෝ බිය පළ කරති. පිරමීඩයේ ඉහළින්ම මස් වර්ග පෙන්වා තිබීම ද මීට හේතු විය හැක. ආචාර්ය ටයි බීල් පවසන්නේ ප්‍රෝටීන් ලබා ගත යුත්තේ ස්වාභාවික ආහාර මගින් මිස, කර්මාන්තශාලාවල සකසන ලද අධි-ප්‍රෝටීන් ආහාරවලින් නොවන බවයි.
අවසාන වශයෙන්, මෙම නව ඇමෙරිකානු උපදෙස් එක්සත් රාජධානිය අනුගමනය කරනු ඇත්ද යන්න පිළිබඳව විමසීමේදී පෙනී යන්නේ එය එසේ නොවන බවයි. බ්‍රිතාන්‍ය සෞඛ්‍ය හා සමාජ සත්කාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ සන්තෘප්ත මේදය හෝ ප්‍රෝටීන් පිළිබඳ උපදෙස් යාවත්කාලීන කිරීමට කිසිදු සැලැස්මක් නොමැති බවයි. ඒ වෙනුවට ඔවුන් අවධානය යොමු කර ඇත්තේ තරබාරුකම පාලනය කිරීම සඳහා ශක්තිජනක පාන වර්ග තහනම් කිරීම, ක්ෂණික ආහාර දැන්වීම් පාලනය කිරීම සහ සීනි සහිත බීම සඳහා බදු පැනවීම වැනි ක්‍රියාමාර්ග වෙතයි. සෞඛ්‍ය සම්පන්න ආහාර මිල අධික වන විට සහ ක්ෂණික ආහාර බහුලව පවතින විට, කෙතරම් හොඳ උපදෙස් ලබා දුන්නද ජනතාවට ඒවා පිළිපැදීම අපහසු බව මහාචාර්ය මයික් ලීන් අවධාරණය කරයි.
(ඩේලි මේල් ඇසුරිනි)
