nandana-is-suspected-to-have-killed--we-are-not-cremating-and-we-are-doing-a-burial

එජාප දේශපාලනඥ හා ජවිපෙ හිටපු සාමාජික නන්දන ගුණතිලක මහතාගේ හදිසි අභාවයත් සමඟ ඇති වී තිබෙන ආන්දෝලනාත්මක තත්ත්වය හමුවේ, ඉදිරි විමර්ශන කටයුතු සඳහා අවස්ථාව සලසා දීමේ අරමුණින් දේහය ආදාහනය වෙනුවට භූමදානය කිරීමට පවුලේ ඥාතීන් විසින් තීරණය කර ඇත. ගුණතිලක මහතාගේ මරණය ස්වාභාවික හේතුවක් මත සිදුවූවක් ද යන්න පිළිබඳව දේශපාලන ක්ෂේත්‍රයේ පාර්ශව කිහිපයක් විසින් සැක මතු කර තිබීමත්, ඔහුට එල්ල වී තිබූ ජීවිත තර්ජන සම්බන්ධයෙන් ජාත්‍යන්තර සංවිධානයක් වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ බවට තොරතුරු අනාවරණය වීමත් මෙම තීරණයට හේතු වී තිබේ.




ගුණතිලක මහතාගේ නැගණිය වන මංගලා කරුණාතිලක මහත්මිය වාද්දුව තරුණ බෞද්ධ සංගම් ශාලාවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ, මීට පෙර බදාදා දින වාද්දුව මහජන ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතව තිබූ ආදාහන කටයුතු අවලංගු කළ බවයි. ශ්‍රී ලංකාවේ දේශපාලන සහ ආර්ථික අපරාධ අධීක්ෂණය කරන ජාත්‍යන්තර ආයතනයක් විසින් නිකුත් කරන ලද වීඩියෝ පටයක් හරහා ලැබුණු තොරතුරු මත, තම සොහොයුරාගේ දේහය ආරක්ෂා කර ගැනීම පිණිස මහාවාද්දුව වේරගම පොදු සුසාන භූමියේදී දේහය භූමදානය කිරීමට පවුලේ අය තීරණය කළ බව ඇය සඳහන් කළාය.

අදාළ ජාත්‍යන්තර ආයතනයේ විධායක අධ්‍යක්ෂවරියගේ ප්‍රකාශයකට අනුව, පසුගිය ඔක්තෝබර් මාසයේදී ගුණතිලක මහතා එම ආයතනය වෙත පැමිණ තමා ඇතුළු තවත් දේශපාලන ක්‍රියාකාරීන් තිදෙනෙකුගේ ජීවිතවලට දේශපාලනික වශයෙන් බලපෑම් සහ තර්ජන එල්ල වී ඇති බවට පැමිණිලි කර ඇත. තම සොහොයුරා ජීවතුන් අතර සිටියදී ඔහු ආරක්ෂා කර ගැනීමට නොහැකි වුවද, යම් අසාධාරණයක් හෝ අයුක්තියක් සිදුව ඇත්නම් අනාගතයේදී ඒ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා දේහය සුරක්ෂිතව තැබීම තම වගකීම බව මංගලා කරුණාතිලක මහත්මිය දැඩිව අවධාරණය කළාය.

"ඇත්ත වශයෙන්ම අපි මුලින් බලාපොරොත්තු වී සිටියේ, වාද්දුව මහජන ක්‍රීඩාංගණයේදී දේහය පිළිබඳ ආදාහන කටයුතු සිදු කිරීමටයි.

එලෙස සූදානම් වී සිටින අතරතුර විශේෂ වීඩියෝ ප්‍රකාශයක් නිකුත් වී තිබුණා. 'ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික අපරාධ සම්බන්ධව අධීක්ෂණය කිරීමේ ගෝලීය මධ්‍යස්ථානය' නම් වූ අන්තර්ජාතික සංවිධානය විසින් එම වීඩියෝව නිකුත් කර තිබුණා.

එම ආයතනයේ විධායක අධ්‍යක්ෂිකාව විසින් එහිදී ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කරන්නේ, පසුගිය ඔක්තෝබර් මාසයේදී මගේ අයියා එම ආයතනය වෙත ගොස්, තමාගේ ජීවිතයට පැහැදිලි දේශපාලන තර්ජනයක් ඇති බවත්, එනිසා තම ජීවිතය ආරක්ෂා කර දෙන ලෙසත් ඉල්ලා සිටි බවයි. ඒ සඳහා ඔහු විසින් එම ආයතනයට බලය පැවරීමක් ද සිදු කර තිබෙනවා.

අයියා පමණක් නොව, අයියා සමඟ දේශපාලනය කළ තවත් තිදෙනෙකු ඇතුළු හතර දෙනෙකුට මෙලෙස ජීවිත තර්ජනයක් ඇති බව එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

ඇත්තටම මම මේ පිළිබඳව කලින් දැන සිටියේ නැහැ. මේ දේවල් සිද්ධ වන විටයි මම මේ වීඩියෝව දුටුවේ. වීඩියෝව දැකීමෙන් පසුව, එම පාර්ශවයන් මගෙන් ඉල්ලීමක් කළා දේහය ආදාහනය නොකර, දේහය ආරක්ෂා කර ගැනීම සඳහා භූමදානය සිදු කරන ලෙස. එම ඉල්ලීම අනුව මම නව තීරණයක් ගත්තා.

මම ඇත්තටම ඒ කාරණය කලින් දැන සිටියේ නැහැ. නමුත් මගේ අයියට යම් වැරැද්දක් හෝ අයුක්තියක් වී ඇත්නම්, එයින් ඔහුව ආරක්ෂා කර දීමත්, ඔහුගේ ගෞරවය ආරක්ෂා කිරීමත් මගේ වගකීමක් වෙනවා.

එමෙන්ම, මෙම අන්තර්ජාතික සංවිධානය මේ සම්බන්ධයෙන් මැදිහත් වෙන්නේ නම්, ඒ අයට සහය වීමත් මගේ වගකීමක්. ඒ නිසා මම තීරණය කළා දේහය ආදාහනය කරනවා වෙනුවට භූමදානය කිරීමට.

ඒ අනුව, අපට ආසන්නව පිහිටි මාවල පොදු සුසාන භූමියේදී භූමදාන කටයුතු සිදු කිරීමට නියමිතයි. අවසන් කටයුතු සඳහා යොදාගත් වේලාවන්වල වෙනසක් සිදු නොවන බව දන්වා සිටිනවා.

මම, නන්දන ගුණතිලක මහතාගේ සහෝදරිය, මංගලා කරුණාතිලක."





මේ අතර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ද සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ගුණතිලක මහතාගේ මරණය සම්බන්ධයෙන් බරපතල සැකයක් මතු කර තිබේ. පසුගිය මාස කිහිපය තුළ තමා ගුණතිලක මහතා සමඟ සමීපව ඇසුරු කළ බවත්, එහිදී ඔහු තම ජීවිත ආරක්ෂාව පිළිබඳව නිරන්තරයෙන් බිය පළ කළ බවත් ගම්මන්පිල මහතා පවසයි. විශේෂයෙන්ම වස දීමක් හෝ රිය අනතුරක් ලෙස හුවා දක්වමින් තමාව ඝාතනය කිරීමට ඉඩ ඇති බවට ගුණතිලක මහතා තමා සමඟ පැවසූ බව ගම්මන්පිල මහතා චෝදනා කරයි.

වෙනත් දේශපාලන විචාරකයින් විසින් ද සමාජ මාධ්‍ය හරහා ගුණතිලක මහතාට තිබූ තර්ජන පිළිබඳ තොරතුරු හෙළිදරව් කර තිබීම මෙම සැකය තවදුරටත් තීව්‍ර කිරීමට හේතු වී ඇත. කෙසේ වෙතත්, මෙම චෝදනා සම්බන්ධයෙන් මෙතෙක් ස්වාධීන තහවුරු කිරීමක් හෝ පොලිසිය විසින් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර, පවුලේ ඥාතීන් පවසන්නේ විනිවිදභාවය සහ අනාගත නීතිමය කටයුතු සඳහා ඉඩ ප්‍රස්ථා තැබීම වෙනුවෙන් භූමදානය සිදු කරන බවයි.



නන්දන ගුණතිලක මහතා රෝහල්ගතව දින කිහිපයක් ප්‍රතිකාර ලබා මියයාමෙන් පසු රෝගී තත්වයන් හේතු ලෙස සඳහන් කරමින් මරණ පරීක්ෂණයේදී මරණය පිළිබඳ සාමාන්‍ය තීරණයක් දැනුම්දී තිබුණ අතර පවුලේ අය එම අවස්ථාවේදී මරණය සැක බවට දන්වා තිබුනේ නැත.ඒ නිසා දේහය ආදාහනයට බාධාවක් නොවුණි. නමුත් අලුත් තත්වයන් යටතේ මිනිය යළි ගොඩගෙන පරීක්ෂණ පවත්වන්නට පවුලේ අය ඉල්ලීම් කිරීමට ඉඩ තිබෙයි.

නන්දන ගුණතිලක මරණය සම්බන්ධ නැවත හාරාවුස්සා බැලීම සාක්ෂි සහිත ඝාතනයක් ලෙස ඔප්පු කළ හැකි වේදැයි සැක පවතින නමුත් මෙම ක්‍රියාදාමය පවතින ජවිප-මාලිමා ආණ්ඩු පක්ෂයට එරෙහි අවලාද නැගීම පිණිස දේශපාලනික වශයෙන් පාවිච්චි කිරීමට ඉඩ තිබේ.

gossiplanka image