පසුගිය කාලයේ රටපුරා ගැටලුවක්ව පැවතියේ කීරි සම්බා වලට සාදාරණ මිලක් නොලැබෙන නිසා වගාව අතහැර දැමීමකි.ඒ නිසා හිඟයක්ද ඇති විය. සම්බා සහ කීරි සම්බා වී වගාව කෙරෙහි ගොවීන් දිරිගැන්වීමේ අරමුණින් එම වී වර්ග මිල දී ගැනීමේ අවම මිල ගණන් ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර, ඊට අමාත්‍ය මණ්ඩලයේ ඒකඟතාව පළ වී ඇත. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පත් කරන ලද මිල කමිටුවේ නිර්දේශ මත පදනම්ව, ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව විසින් මෙම නව මිල සංශෝධනයන් තීරණය කර ඇත.වී අලෙවි මණ්ඩලය විසින් පසුගිය 2025 යල කන්නයේදී නාඩු වී කිලෝවක් රුපියල් 120 බැගින් ද, සම්බා වී කිලෝවක් රුපියල් 125 බැගින් සහ කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132 බැගින් ද මිල දී ගන්නා ලදී. කෙසේ වෙතත්, ඉදිරි කන්නවලදී සම්බා සහ කීරි සම්බා නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම ඉලක්ක කර ගනිමින් එම වී වර්ග සඳහා දැනට පවතින අවම මිල ගණන් ඉහළ දැමීම සුදුසු බවට නිර්දේශ වී තිබේ.
නව තීරණයට අනුව, නියමිත ප්‍රමිතියෙන් යුත් නාඩු වී කිලෝවක් මිල දී ගැනීමේ අවම මිල රුපියල් 120 ලෙස තවදුරටත් පවත්වාගෙන යාමට නියමිතය. එහෙත්, සම්බා වී කිලෝවක් මිල දී ගැනීමේ අවම මිල රුපියල් 125 සිට රුපියල් 130 දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිබේ. මීට අමතරව කීරි සම්බා වී කිලෝවක් මිල දී ගැනීමේ අවම මිල ද රුපියල් 132 සිට රුපියල් 140 දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර ඇත.