පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ, කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාරිමාර්ග කැබිනට් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති (ICCPR) පනත උල්ලංඝනය කරමින් බෞද්ධාගමට සහ මහා සංඝරත්නයට අපහාස කර ඇති බවයි.
විශේෂයෙන්ම, පසුගිය දිනෙක මිහින්තලය නායක ස්වාමීන් වහන්සේ වන වලවාහැංගුන වැවේ ධම්මරතන නායක හිමියන්ට "වනචාරියා" ලෙස අමතමින් අපහාස කිරීම මෙහිදී සිදුව ඇති බව නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. බෞද්ධ නායකයෙකුට එලෙස අපහාස කිරීම තමා තරයේ හෙළා දකින බවද ඔහු ප්‍රකාශ කළේය.
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති (ICCPR) පනතේ දැක්වෙන්නේ, "කිසිම තැනැත්තකු විසින් යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැලකීමට, එදිරිවාදිකම්වලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමු කිරීම සංයුක්ත වන ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙලඹවීම් නොකළ යුතුය" යනුවෙනි. ලාල්කාන්ත මහතාගේ ක්‍රියාවන් තුළින් මෙලෙස ආගමික ද්වේෂය පතුරුවා හැර ඇති බව පැහැදිලි වන බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.
නීතිය සැමට පොදු නම්, බෞද්ධ නායකයන් ඉලක්ක කර ගනිමින් සිදු කරන මෙවැනි අපහාසයන් සහ ආගමික ද්වේශය පැතිරවීම සම්බන්ධයෙන් මෙම පනතට අනුව ලාල්කාන්ත මහතාට එරෙහිව ගැනීමට අපේක්ෂිත නීතිමය ක්‍රියාමාර්ග මොනවාදැයි තමා රජයෙන් ප්‍රශ්න කරන බව නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
සාමාන්‍ය පුරවැසියකු හෝ විපක්ෂයේ කිසිවකු විසින් මෙවැනි ආකාරයේ නීති උල්ලංඝනය කිරීමක් සිදු කළේ නම්, ඔවුන් මේ වන විටත් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරනු ඇතැයි ඔහු පෙන්වා දුන්නේය. කෙසේ වෙතත්, ලාල්කාන්ත මහතා විසින් ආගමික ද්වේශය පතුරුවා හැරීම හා මහා සංඝරත්නයට අපහාස කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව මෙතෙක් නිහඬව සිටීම ගැටලුවක් බවද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.