දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක්වූ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් විදේශීය රටවල් 22ක් සහ ලෝක ආහාර වැඩසටහන (WFP) මඟින් ලබා දුන් මානුෂීය ආධාර තොග, විධිමත් හා පාරදෘශ්‍යභාවයෙන් යුතුව ජනතාව අතර බෙදා හැරීමේ විශේෂ වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාත්මක වේ. මෙම විදේශීය ආධාර කළමනාකරණය සහ සම්බන්ධීකරණය සඳහා ජනාධිපතිතුමන් විසින් පත් කරන ලද 'විදේශ සහනාධාර (සැපයුම්) සම්බන්ධීකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරී කමිටුව' (HL-FRAC) හරහා මෙම ක්‍රියාවලිය අධීක්ෂණය කරනු ලබයි.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක මෙම කමිටුව, පසුගියදා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී රැස්වී සහන සේවා ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීමට අවශ්‍ය තීරණ ගනු ලැබීය.විදෙස් රටවලින් ගුවන් තොටුපල සහ වරාය වෙත ලැබෙන ආධාර තොග පළමුව ඔරුගොඩවත්ත ගබඩා සංකීර්ණයේ ආරක්ෂිතව තැන්පත් කෙරෙන අතර, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය (NDRSC) හරහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත යොමු කරමින් පීඩාවට පත් ජනතාව වෙත ලබා දීමට කටයුතු යොදා ඇත. විපතට පත්වූවන්ගේ දෛනික අවශ්‍යතා සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ, තාක්ෂණික උපකරණ, නිවාස අහිමි වූවන් සඳහා කුඩාරම් මෙන්ම යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණයට අවශ්‍ය විශේෂිත සිවිල් ඉංජිනේරු උපකරණ ද මෙම ආධාර අතරට අයත් වේ. සංඛ්‍යාලේඛනවලට අනුව, විවිධ රටවලින් ආහාර ද්‍රව්‍ය ටොන් 2161.72ක් ලැබී ඇති අතර ඉන් ටොන් 1800ක් මේ වන විටත් බෙදා හැර අවසන්ය. එසේම, ඖෂධ ටොන් 26.5ක්, කූඩාරම් 14,750ක් සහ ගෘහ උපකරණ 9,761ක් වැනි විශාල ප්‍රමාණයක් ලැබී ඇති අතර ඉන් බහුතරයක් මේ වන විටත් ජනතාව වෙත නිකුත් කර තිබේ. මීට අමතරව ඉන්දියාව විසින් පාලම් ඉදිකිරීමේ උපකරණ සහ ආපදා මෙහෙයුම් සඳහා අවශ්‍ය වාහන 07ක් ද ලබා දී ඇත.
මෙම බෙදාහැරීමේ ක්‍රියාවලියේ විනිවිදභාවය තහවුරු කිරීම සඳහා සෑම දින තුනකට වරක්ම ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත වාර්තා ලබා දෙන අතර, ඉදිරියේදී මේ පිළිබඳව විධිමත් විගණනයක් සිදු කිරීමට ද නියමිත බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය. ඔරුගොඩවත්ත ගබඩා සංකීර්ණයේ ධාරිතාව පුළුල් කර එහි ආරක්ෂාව තහවුරු කිරීමට ද පියවර ගෙන තිබේ.
ද්‍රව්‍යමය ආධාරවලට අමතරව, ආපදා තත්ත්වය ඇති වූ අවස්ථාවේ සිට රටවල් 07ක විශේෂඥයින් 389 දෙනෙකුගෙන් යුත් සහන කණ්ඩායම් ශ්‍රී ලංකාවට පැමිණ මානව සම්පත් දායකත්වය ලබා දී ඇත. මෙම කණ්ඩායම් සෙවීම් සහ මුදවා ගැනීම්, වෛද්‍ය ආධාර සැපයීම, පාලම් වැනි හදිසි ඉදිකිරීම් සහ ජල පිරිපහදු කිරීම් වැනි අත්‍යවශ්‍ය සේවාවන්හි නිරත විය. විශේෂයෙන්ම ඉන්දියාවෙන් පැමිණි 213ක කණ්ඩායමක් සෙවීම්, වෛද්‍ය සහ ඉංජිනේරු කටයුතු සඳහා දායක වූ අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යය (76), පකිස්ථානය (47) සහ ජපානය (27) වැනි රටවල් ද සෙවීම් සහ මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා විශාල දායකත්වයක් ලබා දෙන ලදී. චීනය සහ ඉතාලිය භූ විද්‍යා නිරීක්ෂණ හා සිතියම්ගත කිරීමේ කටයුතු සඳහා ද, ස්විට්සර්ලන්ත කණ්ඩායම ජල මූලාශ්‍ර පිරිසිදු කිරීම සඳහා ද සහාය වී ඇත.
මෙම අසීරු අවස්ථාවේදී ශ්‍රී ලංකාව වෙත සහයෝගය දැක්වූ සියලුම විදේශීය රාජ්‍යයන්ට, එම රටවල ජනතාවට සහ විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාවට ජනාධිපතිතුමන් ඇතුළු සමස්ත ජාතියේ ස්තූතිය සහ කෘතඥතාව පිරිනමන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.

