the-story-of-the-mother-of-the-young-woman-who-died-after-going-to-get-a-tooth-extracted

හොරණ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකින් දතක් ගලවා ගැනීමෙන් අනතුරුව හටගත් හදිසි අසාත්මිකතා තත්වයක් හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි විසි හැවිරිදි තරුණියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වීමේ ශෝකජනක පුවතක් පසුගියදා වාර්තා විය. හොරණ පොකුණුවිට බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම තරුණියගේ මරණය සම්බන්ධයෙන් පැවති හදිසි මරණ පරීක්ෂණයේදී ඇයගේ මව විසින් ලබා දුන් සංවේදී සාක්ෂි මගින් මෙම සිදුවීම පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය විය.

දත ගලවන අවස්ථාවේදී නිර්වින්දන ඖෂධය එන්නත් කිරීමත් සමඟ තම දියණියට ක්ලාන්ත ගතියක් ඇති වූ බවත්, එය වෛද්‍යවරයාට දැන්වූ විට එය සාමාන්‍ය තත්වයක් බව පවසා වෛද්‍යවරයා විසින් එය සැහැල්ලුවට ලක් කළ බවත් මියගිය තරුණියගේ මව වන මඩපාතගේ ලක්මාලී ප්‍රියදර්ශනී මහත්මිය සිය සාක්ෂියේදී අවධාරණය කර සිටියාය.




මියගිය කෝට්ටගේ දෙව්මි මදුෂිකා මෙනවිය පවුලේ දෙවැනි දරුවා වූ අතර ඇය හොරණ මේධංකර මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් නිවසේ රැඳී සිටි දියණියකි. මවගේ ප්‍රකාශයට අනුව ඇයට දීර්ඝ කාලීන බරපතල රෝගාබාධ කිසිවක් තිබී නොමැත. මීට වසරකට පමණ පෙර ඇය යම් දෙයකට බිය වූ අවස්ථාවක හෘද ස්පන්දනය වැඩි වීමේ තත්වයක් සහ හිසේ කැක්කුමක් පැවති හෙයින් කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ලබාගෙන තිබුණි. එහිදී සිදු කළ සී.ටී. ස්කෑන් පරීක්ෂණ ඇතුළු වෛද්‍ය පරීක්ෂණවලදී ඇයට කිසිදු රෝගී තත්වයක් නොමැති බව තහවුරු වී තිබූ අතර, මාස හතරක පමණ කාලයක් ඖෂධ ලබා ගැනීමෙන් පසු එම තත්වය සම්පූර්ණයෙන්ම සුව වී තිබී ඇත. එතැන් පටන් ඇය ඉතා නීරෝගීව එදිනෙදා කටයුතු කරගෙන ගිය තරුණියකි.

සිද්ධියට අදාළ සිදුවීම් මාලාව ආරම්භ වී ඇත්තේ මීට සති තුනකට පමණ ඉහතදී ඇයට ඇති වූ සෙම් රෝග තත්වයක් සමඟිනි. 2025 වර්ෂයේ දෙසැම්බර් මස 12 වන දින වන විට ඇයගේ සෙම් ගතිය උත්සන්න වී තිබූ අතර, 13 වන දින රාත්‍රියේ ඇය තදබල දත් කැක්කුමකින් පීඩා විඳ ඇත. මව විසින් වේදනා නාශක ඖෂධ ලබා දුන්නද ඉන් සහනයක් නොලැබූ ඇය රාත්‍රිය පුරා නින්ද නොයා වේදනාවෙන් පසුවී තිබේ. පසුදින එනම් දෙසැම්බර් 14 වන දින ඉරිදා දිනයක් වූ බැවින් රජයේ රෝහලට යාම අපහසු යැයි සිතා දෙමාපියන් විසින් ඇයව හොරණ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත රැගෙන ගොස් ඇත. එහිදී දත් ගැලවීම සඳහා ඔවුනට අංක නවය හිමිව තිබූ බැවින්, වෙන් කරවා ගත් වේලාව එනතුරු ඔවුන් හොරණ රජයේ රෝහල වෙත ගොස් සෙම අමාරුව සඳහා ප්‍රතිකාර ලබාගෙන නැවතත් අදාළ පෞද්ගලික රෝහල වෙත පැමිණ ඇත.




පෞද්ගලික රෝහලේදී දන්ත වෛද්‍යවරයා විසින් රෝගී තරුණිය පරීක්ෂා කිරීමෙන් අනතුරුව පවසා ඇත්තේ හක්කේ කෙළවර පිහිටි දතක් දිරා ගොස් ඇති බවත් එය ගලවා දැමිය යුතු බවත්ය. මවගේද කැමැත්ත ඇතිව දත ගැලවීමට තීරණය කෙරුණු අතර, දත ගැලවීමට පෙර විදුරුමස් හිරි වැටීම සඳහා එන්නතක් ලබා දී තිබේ. මෙම එන්නත ලබා දීමත් සමඟම දියණියට ක්ලාන්ත ස්වභාවයක් දැනෙන බව ඇය මවට පවසා ඇත. වහාම ඒ බව වෛද්‍යවරයාට දැනුම් දුන්නද, වෛද්‍යවරයා පවසා ඇත්තේ එය බිය නිසා ඇතිවන සාමාන්‍ය තත්වයක් විය හැකි බවයි. අනතුරුව දත ගලවා ඉවත් කළ අතර වෛද්‍යවරයා විසින් නියම කළ වේදනා නාශක ඖෂධද රැගෙන ඔවුන් නිවසට පැමිණ ඇත.

කෙසේ වෙතත් නිවසට පැමිණි මොහොතේ පටන් තරුණිය දැඩි අපහසුතාවයකින් පසුවී තිබේ. ඇය ආහාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති අතර මව විසින් ලබා දුන් කිරි පැකට්ටුවක් පමණක් පානය කර නිදාගෙන ඇත. පසුදින එනම් දෙසැම්බර් 15 වන දින උදෑසන ඇයට පාචනය තත්වයක් ඇති වූ අතර දහවල් වන විට මුහුණේ පලු දැමීමක්ද දක්නට ලැබුණි. තත්වය බරපතල බව වටහා ගත් දෙමාපියන් වහාම ඇයව පොකුණුවිට ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු වෙත පෙන්වා ඇති අතර, එහිදී පරීක්ෂා කළ වෛද්‍යවරයා පවසා ඇත්තේ රෝගියාගේ රුධිර පීඩනය ඉතා අවදානම් මට්ටමකට පහත වැටී ඇති බැවින් වහාම රෝහල් ගත කරන ලෙසයි.



ඒ අනුව ඔවුන් නැවතත් දත ගැලවූ පෞද්ගලික රෝහලටම දියණිය ඇතුළත් කර ඇත. එහිදී වෛද්‍යවරුන් අනුමාන කර ඇත්තේ මෙය යම් ඖෂධයක් ආසාත්මික වීමක් (Allergy) විය හැකි බවයි. ඊට ප්‍රතිකාර ලෙස සේලයින් සහ ඖෂධ ලබා දුන්නද ඇයගේ රුධිර පීඩනය යථා තත්වයට පත් වී නොමැත. එම පෞද්ගලික රෝහල සතුව දැඩි සත්කාර ඒකකයක් නොතිබූ බැවින් රෝගියාගේ තත්වය පාලනය කිරීම අපහසු බව වටහා ගත් රෝහල් බලධාරීන් ඇයව රජයේ රෝහලක් වෙත මාරු කර යවන ලෙස උපදෙස් දී තිබේ. ඒ අනුව ගිලන් රථයක් මාර්ගයෙන් ඇයව හොරණ දිසා මහ රෝහල වෙත ඇතුළත් කිරීමට දෙමාපියන් කටයුතු කර ඇත.

හොරණ රෝහලේදී ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරුන් විසින් පස්වන වාට්ටුවට ඇතුළත් කර සේලයින් සහ ඔක්සිජන් ලබා දී ප්‍රතිකාර ආරම්භ කර ඇත. එහෙත් රෝගී තත්වය ක්‍රමයෙන් උත්සන්න වූ අතර ඇය දැඩි නොසන්සුන්කාරී ලෙස හැසිරෙන්නට වූ බව මව සාක්ෂි දෙමින් පැවසුවාය. සිදු කළ රුධිර පරීක්ෂණවලින් අනතුරුව වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ ඇයගේ වකුගඩු අකර්මණ්‍ය වී ඇති බවයි. තත්වය බරපතල බැවින් ඇයව දැඩි සත්කාර ඒකකය වෙත මාරු කර යැවීමට කටයුතු කෙරුණි. මේ අතර ඇයට නියුමෝනියා තත්වය සහ ශරීරයට දරුණු විෂබීජයක් ඇතුළු වී ඇති බවටද වෛද්‍යවරුන් සැක පළ කර තිබුණි.

දිනෙන් දින තරුණියගේ සෞඛ්‍ය තත්වය පිරිහී ගිය අතර වකුගඩු සහ හෘදය වස්තුව ආශ්‍රිතව බරපතල සංකූලතා මතුවී තිබුණි. කිහිප වරක්ම රුධිර පාරවිලයනය (Blood Transfusion) සිදු කිරීමටද වෛද්‍යවරුන්ට සිදුවිය. මී උණ රෝගය වැළඳී ඇත්දැයි බැලීමට පරීක්ෂණ සිදු කළද එහි ප්‍රතිඵල නෙගටිව් වී තිබුණි. වැඩිදුර පරීක්ෂණ සඳහා සී.ටී. ස්කෑන් පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය වුවද, හොරණ රෝහලේ අදාළ යන්ත්‍රය ක්‍රියාවිරහිත වී තිබීම හේතුවෙන් ඇයව නාගොඩ රෝහල වෙත යැවීමට සිදුවිය. එම පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ ඇයගේ මොළයේ වතුර පිරී ඇති බවයි. ඒ සඳහා ශල්‍යකර්මයක් සිදු කිරීමට කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවුවද, රෝගියාගේ අසාධ්‍ය තත්වය හේතුවෙන් ශල්‍යකර්මයක් සිදු කළ නොහැකි බව පවසා ඇයව නැවත හොරණ රෝහලට එවා තිබුණි.

දැඩි සත්කාර ඒකකයේ දින ගණනාවක් ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වූ මෙම තරුණිය අවසානයේ දෙසැම්බර් මස 28 වන දින රාත්‍රී 8.30 ට පමණ මෙලොව හැර ගියාය. ඇයගේ මරණය පිළිබඳ පුවත රෝහල විසින් දුරකථනය ඔස්සේ දෙමාපියන්ට දැනුම් දී තිබුණි. මෙම හදිසි මරණය සම්බන්ධයෙන් වන මරණ පරීක්ෂණය හොරණ හදිසි මරණ පරීක්ෂක සුමේධ ගුණවර්ධන මහතා ඉදිරියේ පැවති අතර එහිදී මවට අමතරව පියා වන චන්දන කුමාර ජයසිරි මහතාද සාක්ෂි ලබා දුන්නේය.

සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ විශේෂඥ අධිකරණ වෛද්‍ය සඳකැන් වඩුගේ මහතා මරණයට නිශ්චිත හේතුවක් ප්‍රකාශ නොකළ අතර සිරුරේ කොටස් වැඩිදුර රස පරීක්ෂක වාර්තා ලබා ගැනීම සඳහා යොමු කිරීමට පියවර ගත්තේය. ඒ අනුව හදිසි මරණ පරීක්ෂකවරයා විසින් මෙය විවෘත තීන්දුවක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. සාමාන්‍ය දන්ත ප්‍රතිකාරයක් සඳහා ගිය නිරෝගී තරුණියක් දින කිහිපයක් ඇතුළත අවාසනාවන්ත ලෙස මරණයට පත්වීම ප්‍රදේශවාසීන් අතර දැඩි කම්පනයක් ඇති කර තිබේ.

news-2025-12-31-041724




news-2025-12-30-131325