china-taxes-birth-control

චීනය ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය ලෙස එරට ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින උපත් අනුපාතය ඉහළ නැංවීමේ උපාය මාර්ගයක් ලෙස ජනවාරි 1 වනදා සිට උපත් පාලන ක්‍රම සඳහා 13%ක විකුණුම් බද්දක් පැනවීමටත්, ළමාරක්ෂක සේවාවන් බදුවලින් නිදහස් කිරීමටත් පියවර ගෙන තිබේ. වසර 1994 සිට එරට ක්‍රියාත්මක වූ එක් දරුවෙකු පමණක් සිටීමේ ප්‍රතිපත්තිය පැවති සමයේ ලබා දී තිබූ බදු සහන රැසක් ඉවත් කරමින් මෙම නව බදු ප්‍රතිසංස්කරණ හඳුන්වා දී ඇති අතර, මීට සමගාමීව විවාහ මංගල සේවාවන් සහ වැඩිහිටි සත්කාර සේවාවන් ද එකතු කළ අගය මත බද්දෙන් (VAT) නිදහස් කිරීමට බලධාරීන් කටයුතු කර ඇත.




වයස්ගත ජනගහනය ඉහළ යාම සහ ආර්ථික වර්ධනය මන්දගාමී වීම යන අභියෝග හමුවේ බීජිං පාලනය විසින් තරුණ ප්‍රජාව විවාහ වීමට සහ දරුවන් ලැබීමට දිරිමත් කරමින් සිටියද, නිල සංඛ්‍යාලේඛනවලට අනුව චීන ජනගහනය අඛණ්ඩව වසර තුනක් පුරා පහත වැටී ඇති අතර 2024 වසරේදී වාර්තා වී ඇත්තේ දශකයකට පෙර පැවති අගයෙන් අඩක් පමණ වූ දරු උපත් සංඛ්‍යාවකි.

කෙසේ වෙතත්, උපත් පාලන කොපු සහ උපත් පාලන පෙති වැනි අත්‍යවශ්‍ය සෞඛ්‍ය උපකරණ මත බදු පැනවීම සමාජය තුළ විවේචනයට ලක්ව ඇති අතර, බොහෝ දෙනා පෙන්වා දෙන්නේ උපත් පාලන කොපු මිල අධික වූ පමණින් දරුවන් හදා වඩා ගැනීමට ජනතාව පෙළඹවිය නොහැකි බවත් මෙය අනවශ්‍ය ගැබ් ගැනීම් සහ ලිංගික රෝග ඉහළ යාමට හේතු විය හැකි බවත්ය.




බීජිං හි පර්යේෂණ ආයතනයක් නිකුත් කළ වාර්තාවකට අනුව දරුවෙකු ඇති දැඩි කිරීම සඳහා ලෝකයේ වඩාත්ම වියදම් අධික රටක් ලෙස චීනය සැලකෙන අතර, පාසල් ගාස්තු ඉහළ යාම, දැඩි තරඟකාරී අධ්‍යාපන පරිසරය සහ කාන්තාවන්ට රැකියාව සහ පවුල් ජීවිතය සමබර කර ගැනීමේ පවතින දුෂ්කරතා ඊට ප්‍රධාන හේතු ලෙස හඳුනාගෙන තිබේ.

දේපළ වෙළඳාම් අර්බුදය සහ ආර්ථික අවිනිශ්චිතතාවය හේතුවෙන් තරුණ පවුල් සිය අනාගතය පිළිබඳව දෙගිඩියාවෙන් පසුවන අතර, ඇතැම් තරුණයින් පවසන්නේ මෙට්‍රෝ දුම්රිය ගාස්තු ඉහළ ගිය ද ගමන් බිමන් නතර නොකරන්නා සේම, බදු ඉහළ ගිය ද උපත් පාලන ක්‍රම භාවිතා කිරීම නතර නොකරන බවයි.



එහෙත් ආර්ථික අපහසුතා ඇති විශ්වවිද්‍යාල සිසුන් සහ අඩු ආදායම්ලාභීන් මෙම මිල ඉහළ යාම හමුවේ ආරක්ෂිත පියවර නොගැනීමට හෝ අවදානම් සහගත හැසිරීම්වලට පෙළඹීමට ඉඩ ඇති බවට සමාජ ක්‍රියාකාරීන් අනතුරු අඟවන අතර එය මෙම ප්‍රතිපත්තියේ භයානකම ප්‍රතිඵලය විය හැකි බව ඔවුන්ගේ අදහසයි.

ඇතැම් ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ මෙම බදු ප්‍රතිසංස්කරණය හුදෙක් උපත් අනුපාතය වැඩි කිරීමට ගත් පියවරක් පමණක් නොව, දේපළ වෙළඳාම් වෙළඳපොළ කඩාවැටීම සහ ඉහළ යන ජාතික ණය බර හමුවේ රජයේ ආදායම වැඩි කර ගැනීමේ උපාය මාර්ගයක් ද විය හැකි බවයි.

චීන රජය ජනතාවගේ පෞද්ගලික ජීවිතයට අනවශ්‍ය ලෙස මැදිහත් වීම පිළිබඳව ද විරෝධය එල්ල වී ඇති අතර, ඇතැම් ප්‍රාන්තවල කාන්තාවන්ගේ ඔසප් චක්‍රය සහ දරුවන් ලැබීමේ සැලසුම් පිළිබඳව විමසමින් ප්‍රාදේශීය නිලධාරීන් දුරකථන ඇමතුම් ලබා දීම වැනි සිදුවීම් රජයේ ප්‍රතිරූපයට හානි කර ඇති බව විචාරකයෝ පවසති.

වර්තමාන තරුණ පරම්පරාව දැඩි සමාජීය සහ මානසික පීඩනය හේතුවෙන් මානව සබඳතා ගොඩනගා ගැනීම වෙනුවට හුදකලා ජීවිත ගත කිරීමට සහ විවාහය ප්‍රමාද කිරීමට වැඩි නැඹුරුවක් දක්වන බව පෙනී යන අතර, භෞතික දියුණුව කෙසේ වෙතත් ඔවුන් මත පැටවී ඇති අධික බලාපොරොත්තු හේතුවෙන් තරුණ පරම්පරාව දැඩි විඩාවකට පත්ව සිටී.