digital-fuel-card-system-for-government-vehicles-begins-as-a-pilot-project

රජයේ ආයතන සතු වාහන සඳහා ඉන්ධන ලබා ගැනීමේදී නවීන තාක්ෂණය මුසු කරගනිමින් ඩිජිටල් කාඩ්පත් ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබේ. මෙම නව ක්‍රමවේදය හරහා ඉන්ධන අවශ්‍යතාවට සරිලන පරිදි මාර්ගගත බැංකු ක්‍රමවේද ඔස්සේ මුදල් ප්‍රතිපූරණය කිරීමටත්, පුද්ගල මැදිහත්වීම් අවම කිරීම මගින් ඉහළ විනිවිදභාවයකින් හා කාර්යක්ෂමතාවකින් යුතුව ඉන්ධන සපයා ගැනීමටත් අවස්ථාව සැලසෙනු ඇත.




මේ වන විට ලංකා බැංකුව සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එක්ව මෙම ඩිජිටල් කාඩ්පත් මගින් වාහන සඳහා ඉන්ධන සැපයීමේ වැඩපිළිවෙළ හඳුන්වා දී ඇත. රජයේ වාහන සඳහා ඉන්ධන ලබා ගැනීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ.

ඒ අනුව, පළමු අදියර යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස ජනාධිපති කාර්යාලයේ සංචිත වාහන සඳහා ඉන්ධන සපයා ගැනීමට මෙම නව ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙම නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත පදනම්ව, අනාගතයේදී අනෙකුත් රජයේ ආයතන සඳහා ද මෙම ක්‍රමවේදය ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත. ගරු ජනාධිපතිතුමා විසින් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.