cabinet-approval-to-fill-26095-government-job-vacancies

රාජ්‍ය සේවයේ බඳවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය කිරීම සඳහා පත් කරන ලද නිලධාරී කමිටුවේ නිර්දේශ මත, රජයේ විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතනවල පවතින පුරප්පාඩු 26,095 ක් පිරවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කමිටුව පත් කිරීමට 2024 දෙසැම්බර් 30 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබූ අතර, එම කමිටුව විසින් රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍යතා, ප්‍රමුඛතා සහ කාලරාමු හඳුනා ගනිමින් මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇත.

අදාළ අමාත්‍යාංශ සහ ආයතන වෙත මෙම බඳවාගැනීම් සිදු කිරීම සඳහා අවසර ලබා දීමට ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය ලැබී ඇත.




අනුමත වූ මුළු පුරප්පාඩු සංඛ්‍යාවෙන් බහුතරය, එනම් 23,344 ක් වෙන්ව ඇත්තේ ශ්‍රී ලංකා ගුරු සේවය සඳහා ගුරුවරුන් බඳවා ගැනීමටයි. ඊට අමතරව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා පුරප්පාඩු 705 ක් ද, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සඳහා 452 ක් ද, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා 442 ක් ද පිරවීමට නිර්දේශ වී තිබේ. වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහා පුරප්පාඩු 248 ක් සහ මධ්‍යම පළාත් සභාව සඳහා 203 ක් ද මෙම අනුමත ලැයිස්තුවට ඇතුළත් වේ.

තවද, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යාංශය යටතේ පුරප්පාඩු 167 ක් ද, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහා 166 ක් සහ ආරක්ෂක අමාත්‍යාංශය සඳහා 102 ක් ද අනුමත වී ඇත. මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සඳහා 76 ක්, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය සඳහා 50 ක් සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සඳහා 37 ක් වශයෙන් ද බඳවාගැනීම් සිදු කිරීමට නියමිතය. නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික අමාත්‍යාංශය සඳහා ද පුරප්පාඩු 33 ක් පිරවීමට අවසර හිමිව තිබේ.




මීට අමතරව විද්‍යා හා තාක්ෂණ (23), මහජන ආරක්ෂක (19), කෘෂිකර්ම (10) සහ විදේශ කටයුතු (10) වැනි අමාත්‍යාංශවල ද අත්‍යවශ්‍ය පුරප්පාඩු පිරවීමට කටයුතු යොදා ඇත. උතුරු මැද පළාත් සභාව සඳහා 06 ක් ද, වෙළෙඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය මෙන්ම ජාතික පොලිස් කොමිෂන් සභාව සඳහා එක් පුරප්පාඩුවක් බැගින් ද පිරවීමට අනුමැතිය හිමිව ඇති අතර, මෙම සියලු පත් කිරීම් කමිටු නිර්දේශවලට යටත්ව කඩිනමින් සිදු කිරීමට අපේක්ෂා කෙරේ.