dengue-cases-surge-1000-cases-in-first-4-days-of-2026

2026 වසරේ ආරම්භක දින හතර තුළ පමණක් දිවයින පුරා ඩෙංගු රෝගීන් 1,019 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා ප්‍රකාශ කර තිබේ. දැනට ක්‍රියාත්මක දින තුනක ජාතික ඩෙංගු මර්දන වැඩසටහන පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම තොරතුරු අනාවරණය කළේය.




නවතම දත්ත වාර්තාවලට අනුව බස්නාහිර පළාතෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් එනම් රෝගීන් 561 දෙනෙකු වාර්තා වී ඇති අතර දකුණු පළාතෙන් 135 ක්, මධ්‍යම පළාතෙන් 85 ක්, සබරගමුවෙන් 69 ක්, උතුරු පළාතෙන් 42 ක් සහ නැගෙනහිර පළාතෙන් රෝගීන් 48 දෙනෙකු වාර්තා වී ඇත. සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් 24% කට ආසන්න ප්‍රතිශතයක්, එනම් රෝගීන් 252 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් හඳුනාගෙන ඇති බැවින් බස්නාහිර පළාත මේ වන විට වැඩිම අවදානමක් සහිත කලාපය බවට පත්ව තිබේ.

කොළඹ මහ නගර සභා බලප්‍රදේශය තුළ පමණක් රෝගීන් 73 දෙනෙකු වාර්තා වී ඇති අතර ගම්පහ, මහනුවර, ගාල්ල, රත්නපුර සහ යාපනය යන නගර ද මේ වන විට අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත. සාමාන්‍යයෙන් ඊසානදිග මෝසම් වර්ෂාවත් සමඟ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් දක්නට ලැබෙන අතර ජනවාරි සහ පෙබරවාරි මාසවල අපේක්ෂිත වර්ෂාපතනයත් සමඟ මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. විශේෂයෙන් මෑතකදී ඇති වූ ආපදා තත්ත්වයන් හේතුවෙන් පරිසරයේ ඉවතලන බහාලුම් සහ අපද්‍රව්‍ය එකතු වීම මදුරුවන් බෝවීමට හිතකර පරිසරයක් නිර්මාණය කර ඇති බැවින්, මහජනතාව මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරමින් ඩෙංගු මර්දන කටයුතු සඳහා සහාය ලබා දිය යුතුව ඇත.