අනුරාධපුර, ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ නිවසකට ගිනි තැබීමේ සිද්ධියෙන් බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සිදු වූ මෙම ඛේදවාචකයෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට තිදෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසයි.
ගලෙන්බිදුණුවැව පොලිස් වසමේ, නුවරගම් කොළනිය, පඩිකාරමඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් අද (06) අලුයම 2.00ට පමණ පෙට්‍රල් දමා සිය නිවසට ගිනි තබා තිබුණි. එම ගින්නට හසු වීමෙන් නිවසට ගිනි තැබූ 43 හැවිරිදි ගෘහමූලිකයා සහ ඔහුගේ 13 හැවිරිදි දියණිය එම ස්ථානයේදීම මියගිය අතර, බරපතළ පිළිස්සුම් තුවාල සහිතව රෝහල්ගත කර සිටි 36 හැවිරිදි බිරිඳ මෙලෙස මීට සුළු වේලාවකට පෙර මරණයට පත්වූ බව ගලෙන්බිඳුණුවැව පොලීසිය තහවුරු කරයි.
මෙම අවාසනාවන්ත සිදුවීමෙන් තුවාල ලැබූ තවත් තිදෙනෙකු මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙලෙස ප්‍රතිකාර ලබන්නේ මියගිය යුවළගේ 15 හැවිරිදි දියණිය, 20 හැවිරිදි පුත්‍රයා සහ 66 හැවිරිදි වියේ පසුවන මියගිය කාන්තාවගේ මව යි.
පියා විසින් නිවසට ගිනි තබන අවස්ථාවේදී නිවසේ සිට ඇත්තේ දියණියන් දෙදෙනා, බිරිඳ සහ බිරිඳගේ මව පමණක් බව මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ. සිද්ධිය සැලවීමත් සමඟ එම ස්ථානයට පැමිණි 20 හැවිරිදි පුත්‍රයා ගින්න මැද සිටි තම මව සහ සහෝදරියන් බේරා ගැනීමට දැරූ උත්සාහයේදී ඔහුද මෙලෙස පිළිස්සුම් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
ගිනි තැබීම සිදුකළ පුද්ගලයා නිරන්තරයෙන් මත්පැන් පානය කර බිරිඳට පහර දීම් සිදු කරන අයෙකු බවත්, මෙම යුවළ අතර පවතින ආරවුල් හේතුවෙන් මීට පෙර අවස්ථා කිහිපයකදීම ගලෙන්බිඳුණුවැව පොලීසිය වෙත පැමිණිලි ලැබී තිබූ බවත් අනාවරණය වී ඇත. එම අවස්ථාවන්හිදී පොලීසිය මැදිහත් වී දෙපාර්ශ්වයටම අවවාද කිරීමට ද කටයුතු කර තිබූ බව වැඩිදුරටත් වාර්තා වේ.