බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයින පුරා වැසි සහ සුළං තත්ත්වයේ වර්ධනයක් සිදුව ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දිවයිනට ගිනිකොණ දෙසින් වන බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය මේ වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් එළඹෙන ජනවාරි 08 වැනිදා සිට දිවයිනේ කාලගුණ තත්ත්වයේ වෙනසක් සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. විශේෂයෙන් උතුර, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ පැහැදිලි වර්ධනයක් මෙම කාලය තුළ බලාපොරොත්තු විය හැක.
නැගෙනහිර, මධ්‍යම, ඌව, උතුරුමැද සහ උතුරු පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි අතර දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට තද වැසි පතනයන් ද වාර්තා විය හැක. විශේෂයෙන් ඌව පළාතේත්, නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව, මඩකළපුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇති වීමේ හැකියාවක් පවතී. මීට අමතරව දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට අනාවැකි පළ කර තිබේ.
දිවයින හරහා හමන සුළං තත්ත්වයේද වැඩිවීමක් අපේක්ෂා කෙරෙන අතර මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශ, උතුර, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 50 ක පමණ තද සුළං ඇති විය හැක. හම්බන්තොට, ගම්පහ, කොළඹ සහ මොනරාගල දිස්ත්‍රික්කවලට ද මෙම තද සුළං තත්ත්වය බලපැවැත්විය හැකි බව කාලගුණ විද්‍යා අංශ පෙන්වා දෙයි. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින කාලගුණ තත්ත්වය සලකා බැලීමේදී බේරුවෙල සිට කොළඹ, පුත්තලම, කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 ත් 60 ත් දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක. කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5 ත් 3.0 ත් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින හෙයින්, ධීවර සහ නාවික ප්‍රජාව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන අනාවැකි සහ නිවේදන පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙස දැනුම් දෙනු ලැබේ.