සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟ වූ විසඳුම් මෙතෙක් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීමට විරෝධය පළ කරමින්, හෙට (26) උදෑසන 8.00 සිට දිවයින පුරා පිහිටි සියලුම රජයේ රෝහල්වල අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.
අද (25) පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේ, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පහක් යටතේ මෙම විරෝධතාව ක්‍රියාවට නංවන බවයි.
ඒ අනුව රෝහල් පද්ධතියේ සායන හෝ බාහිර රෝගී අංශ තුළ යම් ඖෂධයක් නොමැති නම්, එම ඖෂධ පෞද්ගලික ඔසුසල්වලින් ලබාගැනීම සඳහා නිර්දේශ පත්‍රිකා නිකුත් නොකිරීමටත්, රෝහල් තුළ සිදුකළ නොහැකි රසායනාගාර පරීක්ෂණ පිටතින් සිදුකර ගන්නා ලෙස රෝගීන්ට උපදෙස් නොදීමටත් වෛද්‍යවරුන් තීරණය කර ඇත.
එසේම නිසි පරිදි අනුමත වෛද්‍යවරුන් සංඛ්‍යාව ලබාදිය නොහැකි පසුබිමක රෝහල් තුළ අලුතින් ඒකක ආරම්භ කිරීමට ඉඩ ලබා නොදීමටත්, දේශපාලන අවශ්‍යතා මත සංවිධානය කෙරෙන සෞඛ්‍ය කඳවුරු සඳහා සහභාගී නොවීමටත් වෛද්‍යවරුන් මෙහිදී තීන්දු කර තිබේ.
මීට අමතරව සායනයකදී රෝගියෙකු පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය සහයක නිලධාරියෙකු වෛද්‍යවරයා වෙත ලබා නොදෙන්නේ නම්, එම ස්ථානයෙන් ඉවත් වීමට වෛද්‍යවරුන් කටයුතු කරනු ඇත.
මෙම ක්‍රියාමාර්ගය සේවයෙන් බැහැර වීමක් නොව, සේවය කළ හැකි නිසි වටපිටාවක් තුළ පමණක් රාජකාරී කිරීමක් බව පෙන්වා දෙන වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා, හෙට සිට ඇතිවන තත්ත්වයේ සම්පූර්ණ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය, අමාත්‍යවරයා සහ රජය භාරගත යුතු බව අවධාරණය කළේය.