colombo-disaster-relief-distribution-completed-before-january-5th

කොළඹ දිස්ත්‍රික්කයේ ආපදාවට පත් ජනතාව සඳහා රජය මගින් ලබාදෙන සහන බෙදාහැරීම ජනවාරි 05 වනදා වනවිට අවසන් කරන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. අග්‍රාමාත්‍යවරිය මෙම උපදෙස් ලබා දුන්නේ කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු රැස්වීම (30) දා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති අවස්ථාවේදීය.




මෙම රැස්වීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13 තුළ ක්‍රියාත්මක වන සහන සැපයීමේ වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳව අග්‍රාමාත්‍යවරිය විමසා බැලුවාය. "ඩිට්වා" සුළි කුණාටුව හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ නිවාස 141ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, නිවාස 19,126කට අර්ධ හානි සිදුව ඇති බව ඇය පෙන්වා දුන්නාය. ආපදාවට පත් නිවාස පිරිසුදු කිරීම සඳහා ලබාදෙන රුපියල් 25,000ක මුදල වෙනුවෙන් අයැදුම්පත් 51,032ක් ලැබී ඇති අතර, ඉන් 48,167ක ගෙවීම් දැනටමත් අවසන් කර ඇති බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී සඳහන් කළාය.




ඉතිරි අයැදුම්පත් කිහිපයක් ගැටලු හේතුවෙන් ප්‍රතික්ෂේප වී ඇති අතර, ඇතැම් ඒවා යළි සලකා බැලීම සඳහා පියවර ගෙන ඇත. මේ අනුව, සුදුසුකම් ලත් අයැදුම්පත් අතුරින් 94.38%ක ප්‍රගතියක් වාර්තා වී තිබේ. ඊට අමතරව, මුළුතැන්ගෙයි උපකරණ ලබා ගැනීම සඳහා රජය මගින් ලබාදෙන රුපියල් 50,000 දීමනාව සඳහා අයැදුම්පත් 7,535ක් ලැබී ඇති අතර, ඉන් 3,049ක් සඳහා දැනටමත් ගෙවීම් අවසන් කර ඇත. ඉතිරි සියලු දෙනාටද කඩිනමින් මෙම දීමනාවන් ලබා දෙන ලෙස ඇය නිලධාරීන්ට උපදෙස් දුන්නාය. එසේම, පාසල් සිසුන් සඳහා ලබාදෙන රුපියල් 15,000 දීමනාව සඳහා අයැදුම්පත් 14,597ක් ලැබී ඇති අතර, එම දීමනාවන් ඉදිරි දින කිහිපය තුළ කඩිනමින් ගෙවන ලෙසටද අග්‍රාමාත්‍යවරිය උපදෙස් දුන්නාය.

ඒ අනුව, නිවාස හානි වූවන්ට හා මුළුතැන්ගෙයි හා අත්‍යවශ්‍ය උපකරණ සඳහා ලබාදෙන රුපියල් 50,000ක සහ පාසල් දරුවන්ට ලබා දෙන රුපියල් 15,000ක මුදල අනිවාර්යයෙන්ම ජනවාරි 05 වැනිදා වන විට ලබා දී අවසන් කළ යුතු බව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය. ආපදාවෙන් එක්රැස් වී ඇති කසළ බැහැර කිරීම, වත්මන් ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් පවුල්වල නිවාස ගැටලුව විසඳීම, ගංවතුර පාලන උපායමාර්ග පිළිබඳව සහ කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය සඳහා වන ඒකාබද්ධ භෞතික සැලසුම පිළිබඳවද මෙම රැස්වීමේදී පුළුල්ව සාකච්ඡාවට ලක් විය. ඒ අනුව, ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් පවුල්වල නිවාස ගැටලුව විසඳීමේදී අනවසර පදිංචිකරුවන් සහ අවදානම් සහිත ප්‍රදේශවල පදිංචි පවුල් පිළිබඳව නිවැරැදි දත්ත ලබාගෙන, ඒ පිළිබඳව ස්ථානීය පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ලබා දෙන ලෙසත්, කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය සඳහා වන ඒකාබද්ධ භෞතික සැලසුම කඩිනමින් ලබා දීමට කටයුතු කරන ලෙසත් අග්‍රාමාත්‍යතුමිය නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දුන්නාය.



මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන එරංග ගුණසේකර සහ කෞෂල්‍යා ආරියරත්න, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්, දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) කෞෂල්‍යා කුමාරි ප්‍රමුඛ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන්, සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව නියෝජනය කරමින් නිලධාරීන් රැසක් සහභාගී වූහ.