කළුතර බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවෙකුට වැස්ලීන් බෝතලයක් තුළ සූක්ෂම ලෙස සඟවා රුපියල් ලක්ෂ හතරකට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් ලබාදීමට උත්සාහ කළ පුද්ගලයෙකු කළුතර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 9130ක්, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 5990ක්, මල්පෙති මිලිග්‍රෑම් 6670ක් සහ හඳුනා නොගත් මත්කුඩු මිලිග්‍රෑම් 4040ක් පොලිස් භාරයට ගත් බව වාර්තා වේ.
මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට හැකිවූයේ, කළුතර බන්ධනාගාර අධිකාරීවරයාගෙන් ලද තොරතුරක් මත කළුතර උතුර පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එම්. එල්. සී. වන්නිනායක මහතා ප්‍රමුඛ නිලධාරී කණ්ඩායමක් විසින් සිදුකළ මෙහෙයුමකදීය. බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවෙකු බැලීම සඳහා පැමිණි පුද්ගලයෙකු සන්තකයේ තිබූ වැස්ලීන් බෝතලයක් පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් 27 හැවිරිදි සැකකරු, බණ්ඩාරගම, බණ්ඩාරගම බටහිර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකිරීමෙන් අනතුරුව සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. කළුතර උතුර පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර ද සිල්වා මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එම්. එල්. සී. වන්නිනායක මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.