government-employee-festive-advance-amount-increased-to-rs-15000

රජයේ සේවකයින් සඳහා දැනට ලබා දෙනු ලබන උත්සව අත්තිකාරම් මුදල රුපියල් 15,000ක් දක්වා ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අනුව, අදාළ මුදල වැඩි කිරීමට හැකි වන පරිදි ආයතන සංග්‍රහයේ විධිවිධාන සංශෝධනය කිරීමටත්, ඊට අදාළ චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමටත් පියවර ගැනෙනු ඇත.




වර්තමානයේ පවතින ආයතන සංග්‍රහයේ විධිවිධානවලට අනුව රජයේ නිලධාරියෙකුට ලබා ගත හැකි උපරිම උත්සව අත්තිකාරම් මුදල රුපියල් 10,000කි. තෛපොංගල්, රාමසාන්, සිංහල හා හින්දු අලුත් අවුරුද්ද, වෙසක්, දීපාවලි සහ නත්තල් වැනි ප්‍රධාන සංස්කෘතික උත්සව අවස්ථාවන් සඳහා මෙන්ම ශ්‍රී පාද වන්දනාව සහ හජ් වන්දනාව වැනි වන්දනා ගමන් සඳහා ද නිලධාරීන්ට මෙම මුදල ලබා ගැනීමේ අවස්ථාව පවතී.

මෙම අත්තිකාරම් මුදල පොලී රහිතව ලබා දෙන අතර, එය නැවත අය කර ගැනීම මාසික වාරික 08කින් සිදු කෙරේ. එසේම නිලධාරියෙකුට අවශ්‍ය නම් නියමිත කාලයට පෙර වුවද එම මුදල ආපසු ගෙවීමට දැනටමත් විධිවිධාන සලසා ඇත.




2026 අයවැය යෝජනාවලට අනුව මෙම අත්තිකාරම් මුදල රුපියල් 15,000 දක්වා වැඩි කිරීමට යෝජනා වී තිබූ අතර, එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා මෙම නව අනුමැතිය ලබා දී තිබේ. මේ හරහා රජයේ නිලධාරීන්ට උත්සව සමයන්හිදී සහන සැලසීම රජයේ අපේක්ෂාවයි.