රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ පවතින සංචාරක බංගලා සහ නිවාඩු නිකේතන වෙන් කරවා ගැනීම සඳහා නව මාර්ගගත (Online) පහසුකමක් හඳුන්වා දී තිබේ. මහජනතාවට වඩාත් කාර්යක්ෂම සහ පහසු සේවාවක් සැපයීමේ අරමුණින් මෙම පද්ධතිය ස්ථාපිත කර ඇති බව එම අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
මෙම පහසුකම ලබා ගැනීම සඳහා අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.pubad.gov.lk වෙත පිවිසීමෙන් අවස්ථාව සැලසෙන බව අමාත්‍යාංශය පෙන්වා දෙයි. වත්මන් රජය විසින් ක්‍රියාවට නංවා ඇති ඩිජිටල් රාජ්‍යකරණ ප්‍රතිපත්තිය තවදුරටත් පුළුල් කිරීමේ පියවරක් ලෙස මෙම නව වැඩපිළිවෙළ ආරම්භ කර තිබේ.
සංචාරක බංගලා හා නිවාඩු නිකේතන මාර්ගගත ක්‍රමයට වෙන් කරවා ගැනීමේ මෙම පද්ධතිය නිල වශයෙන් එළිදැක්වීම පසුගිය 29 වැනිදා විෂය භාර අමාත්‍ය වන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කරන පරිදි නුවරඑළිය, දියතලාව සහ බණ්ඩාරවෙල යන ප්‍රදේශවල පිහිටි සංචාරක බංගලා 08ක් මෙම ක්‍රමය හරහා වෙන් කරවා ගත හැකිය. ඊට අමතරව යාපනය, කතරගම, මොනරාගල, මහියංගණය, මිහින්තලය, මුලතිව් සහ පොළොන්නරුව යන ප්‍රදේශවල පිහිටි නිවාඩු නිකේතන ද මෙම මාර්ගගත පද්ධතියට ඇතුළත් කර ඇත.
මෙම නව සේවාව එළිදැක්වීමේ අවස්ථාව සඳහා අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.