save-us-from-the-kimulas-in-batticaloa-the-people-demand

මඩකලපුව, කලුවන්චිකුඩි පොලිස් බල ප්‍රදේශයට අයත් ඔන්ඩාච්චිමඩම් ප්‍රදේශයේ ජනාවාස ආශ්‍රිතව සැරිසරන විශාල කිඹුලෙකු හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි භීතියට පත්ව සිටින අතර එම සත්වයා පාලනය කිරීමට පියවර ගන්නා ලෙස ජනතාව ඉල්ලා සිටියි. මඩකලපුව - කල්මුණේ ප්‍රධාන මාර්ගයට ආසන්නව පිහිටි ජල මූලාශ්‍රයක මෙම කිඹුලා රැඳී සිටින බවත්, ඌ අඩි හතකට වඩා දිගින් යුතු බවත් වාර්තා වේ.




විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී මෙම කිඹුලා ජනතාව ජීවත්වන නිවාස දෙසට පැමිණීම හේතුවෙන් ගම්වාසීන් නිරන්තරයෙන් අනාරක්ෂිත තත්ත්වයකට මුහුණ දී සිටින බව පැවසේ. මීට අමතරව, රාත්‍රී කාලයේ මඩකලපුව - කල්මුණේ ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා මගීන්ට ද මෙම සත්වයාගෙන් බාධා එල්ල වන බවත්, එය මගී ජනතාවගේ ජීවිතවලට තර්ජනයක් වී ඇති බවත් ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි.

මෙම යෝධ කිඹුලා හේතුවෙන් ප්‍රදේශයේ කිසියම් ජීවිත හානියක් හෝ අනතුරක් සිදුවීමට පෙර වහාම ක්‍රියාත්මක වී එම සත්වයා අදාළ ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ප්‍රදේශවාසීන් අදාළ බලධාරීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

news-2025-12-31-192610