mother-of-16-year-old-girl-injured-in-kalubowila-shooting-has-underworld-connections

කොහුවල පොලිස් වසමේ කළුබෝවිල, සරණංකර පාර, බෝධියවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසකට පසුගිය අඟහරුවාදා (30) රාත්‍රී කාලයේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර පළා ගොස් තිබේ. මෙම වෙඩි තැබීම හේතුවෙන් එම නිවසේ සිටි 16 හැවිරිදි සිසුවියක් තුවාල ලබා ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණි.




සිද්ධිය සම්බන්ධයෙන් කොහුවල පොලිසිය විසින් සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ වෙඩික්කරුවන්ගේ සැබෑ ඉලක්කය වී ඇත්තේ තුවාල ලැබූ සිසුවිය නොව ඇයගේ මව බවයි.

තුවාල ලැබූ දැරියගේ මව පාතාල කල්ලි සාමාජිකයෙකු වන "බඩෝවිට අසංක" නැමැත්තාගේ සමීපතම සහායිකාවක බවට තොරතුරු හෙළි වී ඇති අතර, පසුගිය 22 වනදා නුගේගොඩ ප්‍රදේශයේදී "ඩුබායි අවිෂ්ක" නැමැත්තාගේ ගෝලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා ඇය ඔත්තු බලා ඇති බවට පොලිසිය සැක කරයි.




තවද අදාළ කාන්තාව විසින් "ඩුබායි අවිෂ්ක" සතු මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ තොරතුරු ප්‍රතිවාදී පාතාල සාමාජිකයෙකු වන "බඩෝවිට අසංක" වෙත ලබා දී ඇති බවටද විමර්ශන නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කොහුවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

news-2025-12-31-201334

news-2025-12-31-201334