ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'කෙසෙල්වත්තේ දිනූෂ' හෙවත් හේවාපේඩිගේ දිනූෂ චතුරංග, ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වා ගෙන තිබේ. විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (24) සවස ඔහුව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත රැගෙන ආ අතර, පසුව ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත භාර දෙන ලදී.
මේ අතර, මීට සමාන නමක් ඇති 'කෙසෙල්වත්තේ දිනූක' නමැති තවත් පාතාල ක්‍රියාකාරිකයෙකු 2021 වසරේදී ඩුබායිහිදී මියගොස් ඔහුගේ සිරුර මෙරටට ගෙන්වා ගෙන තිබූ බවද සඳහන් වන අතර ඒ දිනුක වන අතර මේ දිනුෂයි.
කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි දිනූෂ, කෙසෙල්වත්ත, කොටහේන සහ මට්ටක්කුලිය ඇතුළු ප්‍රදේශ ගණනාවක සිදුවූ මනුෂ්‍ය ඝාතන රැසකට සම්බන්ධ බවට චෝදනා ලබා සිටී. මීට අමතරව, ගිනි අවි සහ අත්බෝම්බ ළඟ තබාගැනීම මෙන්ම කොළඹ අවට සිදු කළ මංකොල්ලකෑම් රැසක් සම්බන්ධයෙන් ද ඔහුට එරෙහිව චෝදනා පවතී.
සැකකරු ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්ඩිගෝ (IndiGo) ගුවන් සේවයට අයත් 6E-1179 දරන ගුවන් යානයෙන් අද (24) සවස 4.15 ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත රැගෙන එනු ලැබුවේ දැඩි ආරක්ෂාවක් මධ්‍යයේය.
ගුවන්තොටුපොළට රැගෙන ආ ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදු කිරීමෙන් අනතුරුව, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ කෙසෙල්වත්ත පොලීසිය වෙත භාරදීමට කටයුතු කර ඇත.
මෙම මෙහෙයුම මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ සහ අමාත්‍යාංශ ලේකම්වරයාගේ සම්බන්ධීකරණය යටතේ පොලිස්පතිවරයා විසින් සිදු කළ විශේෂ සාකච්ඡාවක ප්‍රතිඵලයකි. ඒ අනුව, ඉන්දීය රජය, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සහ ඉන්දීය ආරක්ෂක අංශ සමඟ සෘජු සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව, රතු නිවේදන නිකුත් කර තිබූ මෙම සංවිධානාත්මක අපරාධකරුවා මෙරටට ගෙන්වා ගැනීමට හැකිවී තිබේ.
පොලීසිය සඳහන් කරන පරිදි, මෙම සැකකරුට එරෙහිව අධිකරණවල නඩු ගණනාවක් පවතී. ඒවා අතර:
* 2015 වසරේදී කෙසෙල්වත්ත පොලිස් වසමේදී තියුණු ආයුධවලින් පහරදී සිදුකළ මනුෂ්‍ය ඝාතනයක්.
* 2018 වසරේදී කොටහේන පොලිස් වසමේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට ආධාර අනුබල දීම.
* 2021 වසරේදී මට්ටක්කුලිය පොලිස් වසමේදී තියුණු ආයුධවලින් පහරදී සිදුකළ මනුෂ්‍ය ඝාතනයක්.
* 2021 වසරේදී කොටහේන පොලිස් වසමේදී ජීව අත්බෝම්බයක් ළඟ තබාගැනීම.
* කෙසෙල්වත්ත, වේල්ලවීදිය සහ බ්ලුමැන්ඩල් යන පොලිස් වසම්වලදී සිදුකළ කොල්ලකෑම් සහ මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම්.
යන චෝදනා ප්‍රධාන වේ.
මෙම සැකකරු සම්බන්ධයෙන් වන ඉදිරි විමර්ශන කටයුතු කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පූර්ණ මෙහෙයවීම යටතේ සිදු කෙරෙනු ඇත.
