දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ බලවත්ම දේශපාලන යුගලය ලෙස සැලකූ ජර්මනිය සහ ප්‍රංශය අතර පවතින දීර්ඝකාලීන සබඳතාවයේ දැඩි ඉරිතැලීමක් නිර්මාණය වෙමින් පවතින බව වාර්තා වේ. යුරෝ නිව්ස් පුවත් සේවයට අනුව, ජර්මානු චාන්සලර් ෆ්රෙඩ්රික් මර්ජ් මේ වන විට ප්‍රංශය පසෙකලා ඉතාලියේ දක්ෂිණාංශික අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි සමඟ නව රාජ්‍යතාන්ත්‍රික සබඳතාවක් ගොඩනැගීමට පියවර ගනිමින් සිටී.
මෙම නව දේශපාලන පෙරළිය පිළිබඳ ඉඟියක් පසුගියදා දාවෝස්හි පැවති ලෝක ආර්ථික සමුළුවේදී මර්ජ් විසින් ලබා දුන් අතර, ලබන ජනවාරි 23 වන දින රෝමයේ පැවැත්වෙන ඉතාලි-ජර්මානු සමුළුවේදී යුරෝපා සංගමය වඩාත් කාර්යක්ෂම ලෙස මෙහෙයවීම සඳහා නව යෝජනා ඉදිරිපත් කරන බව ඔහු එහිදී අවධාරණය කළේය.ඇමරිකානු දේශපාලන වෙබ් අඩවියක් වන 'ද පොලිටිකෝ' පෙන්වා දෙන්නේ මර්ජ් සහ මෙලෝනි යන දෙදෙනාම දක්ෂිණාංශික මතවාද දරන්නන් වන අතර, ඇමරිකාව සමඟ සමීප සබඳතා පැවැත්වීම මෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ගැටුම් ඇති කර ගැනීමෙන් වැළකී සිටීමට ඔවුන් දැඩි උනන්දුවක් දක්වන බවයි. මෙම නායකයින් දෙදෙනාම ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන්ගේ ඇතැම් ක්‍රියාකලාපයන් පිළිබඳව සිය නොසතුට පළ කර ඇති අතර, වෙළඳාම, කර්මාන්ත සහ විදේශ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ප්‍රංශය කෙරෙහි පැවති විශ්වාසය වෙනුවට ජර්මනිය දැන් ඉතාලිය දෙසට නැඹුරු වෙමින් පවතී. ජර්මනිය ප්‍රංශය කෙරෙහි මෙලෙස කළකිරීමට පත්වීමට ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ දකුණු ඇමරිකානු රටවල් වන බ්‍රසීලය, ආර්ජන්ටිනාව, උරුගුවේ සහ පැරගුවේ ඇතුළත් 'මර්කොසුර්' (Mercosur) වෙළඳ එකඟතාවය යටපත් කිරීමට ප්‍රංශය උත්සාහ කිරීමයි.
අපනයනය මත පදනම් වූ ආර්ථිකයක් හිමි ජර්මනිය මෙම නිදහස් වෙළඳ ගිවිසුමෙන් විශාල ප්රතිලාභ අපේක්ෂා කළද, ප්‍රංශයේ බලවත් ගොවි සංවිධානවල විරෝධය හමුවේ මැක්රොන් රජය එම ගිවිසුම ප්‍රමාද කරමින් සිටී. දකුණු ඇමරිකාවෙන් ලාභදායී ලෙස ධාන්‍ය, කිරි නිෂ්පාදන සහ හරක් මස් ආනයනය කිරීම හරහා තම දේශීය කර්මාන්ත විනාශ වනු ඇතැයි ප්‍රංශ ගොවියන් බිය වන අතර, මැක්රොන් ද සිය දේශපාලන ස්ථාවරය වෙනුවෙන් ගොවීන්ගේ ඉල්ලීම්වලට හිස නමා ඇත. මීට අමතරව, යුරෝ බිලියන 100ක (රුපියල් ට්‍රිලියන 10.7ක පමණ) වටිනාකමකින් යුත් 'ෆියුචර් කොම්බැට් එයාර් සිස්ටම්' (FCAS) නම් අනාගත සටන්කාමී ගුවන් යානා ව්‍යාපෘතිය සම්බන්ධයෙන්ද දෙරට අතර දැඩි මතභේද හටගෙන තිබේ.
2040 වසරෙන් පසු ප්‍රංශයේ 'රාෆෙල්' සහ ජර්මනියේ 'යුරෝෆයිටර්' යානා වෙනුවට හඳුන්වා දීමට නියමිත මෙම හයවන පරම්පරාවේ ගුවන් යානා ව්‍යාපෘතියේ සැලසුම් සහ පාලනය තම දසෝල්ට් ඒවියේෂන් (Dassault Aviation) සමාගමට හිමිවිය යුතු බව ප්‍රංශය පවසන අතර, ජර්මනිය සිය එයාර්බස් (Airbus) සමාගම වෙනුවෙන් සමාන අයිතිවාසිකම් ඉල්ලා සිටී. ජර්මානු පුවත්පතක් වන 'හෑන්ඩ්ල්ස්බ්ලැට්' වාර්තා කරන්නේ මෙලෝනි දැන් මර්ජ්ගේ "වැදගත්ම සහචරයා" බවට පත්වෙමින් සිටින බවත්, විශේෂයෙන්ම ඇමරිකාව සමඟ වෙළඳ යුද්ධයක් ඇති කර නොගැනීමේ ප්‍රතිපත්තියේදී ඔවුන් දෙදෙනාම එකඟතාවයක සිටින බවත්ය. ප්‍රංශ ජනාධිපති මැක්රොන් ට්‍රම්ප් සම්බන්ධයෙන් දෙබිඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට ඉතාලි පාර්ශවයෙන් චෝදනා එල්ල වන අතර, මෑතකදී මැක්රොන් විසින් ට්‍රම්ප් වෙත යොමු කළ පෞද්ගලික පණිවිඩයක් කාන්දු වීමත් සමඟ ඔහුගේ රහසිගත රාජ්‍යතාන්ත්‍රික උත්සාහයන් හෙළිදරව් වී තිබේ.
මර්ජ් සහ මෙලෝනි අතර පවතින මෙම නව මිත්‍රත්වය හුදු දේශපාලන උපාය මාර්ගයකට වඩා වර්තමාන තත්ත්වයන් හමුවේ ඇති වූ අත්‍යවශ්‍යතාවයක් ලෙස දේශපාලන විචාරකයෝ හඳුන්වති. මීට පෙර රුසියාවේ අත්හිටුවන ලද වත්කම් යුක්රේනයට ලබා දීම සහ අයවැය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දෙරට අතර මතභේද පැවතියද, මේ වන විට දෙරටේම ආර්ථික ප්‍රතිපත්ති යම් එකඟතාවයකට පැමිණෙමින් තිබීම විශේෂත්වයකි. ඉතාලිය සිය අනවශ්‍ය වියදම් කපා හැරීමට කටයුතු කර ඇති අතර, ජර්මනිය සිය යටිතල පහසුකම් සහ ආරක්ෂක කටයුතු සඳහා ණය ලබාගෙන හෝ වියදම් කිරීමට එකඟ වී තිබේ. කෙසේ වෙතත්, මෙය දිගුකාලීන උපාය මාර්ගික සන්ධානයකට වඩා ප්‍රංශය සහ ජර්මනිය අතර පවතින නොසන්සුන් තත්ත්වයෙන් ප්‍රයෝජන ගැනීමට ඉතාලිය ගත් තාවකාලික පියවරක් විය හැකි බවට ඇතැම් විදේශ රාජ්‍යතාන්ත්‍රිකයෝ අනතුරු අඟවති.
