sl-2026-housing-record

ශ්‍රී ලංකා ඉතිහාසයේ රාජ්‍ය අනුග්‍රහය යටතේ වැඩිම නිවාස සංඛ්‍යාවක් ඉදිකෙරෙන වසර 2026 වනු ඇති බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. මෑත කාලීන ආපදා හේතුවෙන් විනාශ වූ නිවාස නැවත ගොඩනැගීම සහ රජයේ සාමාන්‍ය සංවර්ධන සැලසුම් යටතේ ඉදිවන නිවාස ද ඇතුළුව, එම වසරේදී නව නිවාස 50,000ත් 55,000ත් අතර ප්‍රමාණයක් ඉදිකිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.




ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ‘Rebuilding Sri Lanka’ වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක PROJECT 5M ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට අද (09) පෙරවරුවේ එක්වෙමිනි. ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මල්බෙලිගල වසමේ පිහිටි අලුබද්ද ගම්මානයේදී පැවති මෙම උත්සවයේදී, දිට්වා සුළි කුණාටුවෙන් පූර්ණ හානි සිදුවූ නිවාස වෙනුවෙන් වන්දි ලබාදීම මෙන්ම නව නිවාස ඉදිකිරීමේ කටයුතු නිල වශයෙන් ආරම්භ කෙරිණි.

මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව, පලාගල, ඉපලෝගම, පලුගස්වැව සහ තිරප්පනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ආපදාවට ලක්වූ පවුල් සඳහා ප්‍රතිලාභ හිමිවේ. මෙහිදී, එම ස්ථානයේම නැවත නිවාස ඉදිකරගත හැකි බවට තත්ත්ව සහතික හිමිවූ, නිවාස අහිමි වූ පවුල් 26ක් වෙනුවෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් වන්දි ප්‍රදානය සහ නව නිවාසවල ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සිදු විය.




මෑතකදී ඇතිවූ ව්‍යසනය හේතුවෙන් නිවාස 6,000ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, අවදානම් සහිත ප්‍රදේශවල පිහිටි නිවාස 17,000ක් හෝ 18,000ක් පමණ නැවත පදිංචියට නුසුදුසු තත්ත්වයේ පවතින බව වාර්තා වේ. මෙම තත්ත්වය මත, ආපදාවෙන් පූර්ණ හානි සිදුවූ නිවාස වෙනුවෙන් අලුතින් නිවාස 20,000ත් 25,000ත් අතර ප්‍රමාණයක් ඉදිකිරීමට සිදුව ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. මීට අමතරව, 2026 අයවැය මගින් නිවාස සංවර්ධන අධිකාරිය හරහා නිවාස 10,000ක්, යුද්ධයෙන් අවතැන් වූවන් සඳහා නිවාස 2,500ක් සහ වතුකරයේ ජනතාව වෙනුවෙන් ඉන්දීය ආධාර යටතේ ඉදිවන නිවාස ද ඇතුළුව, සාමාන්‍ය ක්‍රමවේදය යටතේ තවත් නිවාස 31,000ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

මීට වසර තුනකට පෙර රට මුහුණ දුන් දැවැන්ත ආර්ථික කඩාවැටීම ස්වභාවික විපතක් නොව, දීර්ඝ කාලයක් තිස්සේ පැවති වැරදි ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් බව ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය. කෙසේ වෙතත්, වත්මන් රජය බලයට පත්වීමෙන් පසු ආර්ථිකය ස්ථාවර කිරීමට සමත් වූ බවත්, 2025 වසරේදී ඉහළ රාජ්‍ය ආදායමක් සහ 1977න් පසු අඩුම අයවැය පරතරය වාර්තා කරමින් ආර්ථික දර්ශකවල ධනවාදී වර්ධනයක් පෙන්නුම් කළ බවත් හෙතෙම පැවසීය. මෑත කාලීන ආපදාව හේතුවෙන් යටිතල පහසුකම් සඳහා ඩොලර් බිලියන 4.1ක පමණ පාඩුවක් සිදු වී ඇතැයි ලෝක බැංකු වාර්තා පෙන්වා දුන්නද, විපතට පත් ජනතාව අත්නොහැර ඔවුන් රැකබලා ගැනීම රජයේ වගකීම බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.



මෙම ආපදා තත්ත්වයෙන් රට නැවත ගොඩනැගීම වෙනුවෙන් 2026 වසරේදී පමණක් රුපියල් කෝටි 50,000ක දැවැන්ත මුදලක් වෙන් කර ඇති බව ජනාධිපතිවරයා හෙළි කළේය. ඉතිහාසයේ කිසිදු අවස්ථාවක මෙවැනි විශාල වන්දි මුදලක් හෝ සහන සැලසීමක් සිදු කර නොමැති බව පෙන්වා දුන් ඒ මහතා, වගා හානි සහ ජීවනෝපාය අහිමි වූවන් සඳහා ද වන්දි ලබා දෙන බව ප්‍රකාශ කළේය. ජනතාවට ඉහළ ආදායමක්, දරුවන්ට යහපත් අධ්‍යාපනයක්, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්, හොඳ නිවසක් සහ මානසික සුවය යන මූලික අවශ්‍යතා පහ සම්පූර්ණ කර දීම රජයේ මූලික අරමුණ බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

sl-2026-housing-record

sl-2026-housing-record

sl-2026-housing-record

sl-2026-housing-record

sl-2026-housing-record