ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ සහ හදිසි ප්‍රතිචාර දැක්වීමේ හැකියාවන් තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් ඇමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත TH-57 (Bell 206 Sea Ranger) වර්ගයේ හෙලිකොප්ටර් යානා දහයක් ලබා දීමට පියවර ගෙන ඇති අතර කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් මෙම සුවිශේෂී ප්‍රදානය පිළිබඳව නිල වශයෙන් නිවේදනය කර තිබේ.
ඇමෙරිකාවේ ටෙක්සාස් හි නිෂ්පාදිත මෙම හෙලිකොප්ටර් යානා එරට අතිරික්ත ආරක්ෂක ද්‍රව්‍ය වැඩසටහන (Excess Defense Articles Program) යටතේ ශ්‍රී ලංකාවට ලබා දෙන අතර ඒවා ඉහළ විශ්වසනීයත්වයකින් යුක්ත බව සඳහන් වේ. මෙම නව යානා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම් ඇණිය ශක්තිමත් කිරීමට මෙන්ම නියමු පුහුණු කටයුතු කාර්යක්ෂම කිරීමට ද විශාල පිටිවහලක් වනු ඇති අතර සැලසුම් කර ඇති පරිදි මෙම හෙලිකොප්ටර් යානා 2026 වසරේ මුල් භාගයේදී දිවයිනට ළඟා වීමට නියමිතය.
මෑතකදී බලපෑ ඩිට්වා (Ditwah) සුළි කුණාටු අවස්ථාවේදී හෙලිකොප්ටර් යානා මගින් ඉටු කළ තීරණාත්මක කාර්යභාරය සහ එම අවස්ථාවේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කරන ලද සෝදිසි කිරීම්, මුදා ගැනීම් සහ සහන සේවා මෙහෙයුම්වල වෘත්තීයභාවය මෙම නිවේදනය මගින් විශේෂ ඇගයීමට ලක් කර ඇත. හදිසි අවස්ථාවලට ප්‍රතිචාර දැක්වීම සහ ආපදා පෙර සූදානම ඉහළ නැංවීම වෙනුවෙන් දෙරට අතර පවතින අඛණ්ඩ සහයෝගීතාව මෙම යානා හුවමාරුව මගින් තවදුරටත් තහවුරු වන බව ඇමෙරිකානු බලධාරීන් පෙන්වා දී තිබේ.