acid-attack-husband-murdered

බිරිඳගේ මුහුණට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියදී හදිසියේ මියගිය රැඳවියාගේ මරණය ස්වාභාවික මරණයක් නොව මොට බලයක් යොදා සිදු කළ පහරදීමකින් වූ ඝාතනයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ. කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුචිර නදීර මහතා විසින් සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව මොට බලයකින් සිරුරේ වම්පස උරහිසට සිදු වූ තුවාල හේතුවෙන් පෙනහලු තැලී අභ්‍යන්තර රුධිර වහනයක් සිදුවීම මරණයට හේතුව වී ඇත.

මෙම වෛද්‍ය නිගමනයත් සමඟම පොලිසිය විසින් මෙම මරණය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.




මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දැදිගම පොලිස් වසමට අයත් බෙලිගල, වඩුකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි සිව්දරු පියෙකු වූ රතුවඩුගේ උපාලි රණවීර නමැත්තෙකි. විශාල දේපළකට හිමිකම් කියන මොහුගේ පියා විදුහල්පතිවරයෙකු වන අතර මව ගෘහණියකි. අලව්ව මහරච්චිමුල්ල ප්‍රදේශයේ කාන්තාවක් සමඟ විවාහ වී සිටි මොහුට පුතුන් තිදෙනෙකු සහ එක් දියණියක් සිටින අතර වැඩිමහල් දරුවන් රැකියාවල නිරතව සිටියදී බාල දරුවන් දෙදෙනා අධ්‍යාපනය ලබමින් සිටී.

කාලයක සිට අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහි වී සිටි මියගිය පුද්ගලයා මීට පෙර අවස්ථාවකදී ද තම බිරිඳට පිහියකින් ඇන තුවාල සිදු කර තිබූ බව පැවසේ. මෙම පවුල් ආරවුල් හේතුවෙන් බිරිඳ, දරුවන් තිදෙනා සහ වයෝවෘද්ධ මව මහ ගෙදර ජීවත් වෙද්දී, මොහු ඊට පහළින් පිහිටි අඩක් නිම කළ කුඩා නිවසක තනිව වාසය කර ඇත. පසුගිය 03 වැනිදා සවස බිරිඳට ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇත්තේ මෙම පසුබිම තුළය. එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ බිරිඳ මේ වන විට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.




ඇසිඩ් ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය 05 වැනිදා දැදිගම පොලිසියට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් සැකකරු, එදිනම වරකාපොළ තුල්හිරිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි 08 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග ලැබිණි. එදින රාත්‍රියේ ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ සැකකරු, පසුදා (06) අලුයම වැඩිදුර ප්‍රතිකාර සඳහා කෑගල්ල මහ රෝහලට රැගෙන යන විටත් මියගොස් සිට ඇත.

සැකකරුගේ මරණය සම්බන්ධයෙන් කෑගල්ල පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, වැඩබලන මහේස්ත්‍රාත් නිශාන්ති අබේරත්න මහත්මිය විසින් දේහය පරීක්ෂා කර මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළාය. මරණය ඝාතනයක් බවට හෙළිවීමත් සමඟ කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සහ අපරාධ ස්ථාන පරීක්ෂණාගාර (SOCO) නිලධාරීන් කණ්ඩායමක් බන්ධනාගාරය තුළට ගොස් පුළුල් විමර්ශනයක් සිදු කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තා ලබන 19 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර දේහය පිළිබඳ අවසන් කටයුතු පවුලේ ඥාතීන් විසින් සිදු කර ඇත.